- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
එදා විද්‍යා සන්නිවේදනය අද නැත්තේ ඇයි?
හැබැයි මේ පට්ට ප්‍රාථමික යුගයේදී පවා අපට කියවන්ට බොහෝ දේ තිබුණේය. මේ කාලයේ මා ආදරයෙන් කියැවූ දේවල් කිහිපයක් මෙසේ සටහන් කළ හැකිය. මිහිර පත්තරය. නවයුගය පත්තරය. සිළුමිණ පත්තරයේ විශ්වකෝෂය පිටු. අනුර සී. පෙරේරාගේ පොත්. එස්. එම්. බන්දුසීලගේ පොත්. සෙවිල්ල සඟරාව. මේ අප විශ්වයට පා තබන මැජික් පලස්ය.
මේ කාලයේදී එඩ්වින් ආරියදාස නොවරදවා, සති දෙකකට වරක් පළවන නවයුගය පුවත්පතට මැද පිටු දෙක පුරා දිග ලිපියක් ලියයි. මේ ඊට පෙර සතියේ ටයිම් සඟරාවේ කවරයේ කතාව කියා අද මේ ලිපි සමහරුන් අතින් ගර්භාවට ලක් වෙතත් එදා ඒවායේ වටිනාකම ඉන් කිසිසේත්ම නිෂේධ නොවෙයි. ඒ කාලයේ වැඩිම උනොත් ලංකාවට ටයිම් සඟරා විස්සක් විසි පහක් එන්ට ඇත. ඒවා කියවන්ටත් අපට ඉංගිලිසි බැරිය. අප ලෝකය දකින්නේ නවයුගයේ පළවන පරිවර්තනයෙනි. (එය හුදෙක් පරිවර්තනයක් නොවන බැව් මම අද දනිමි.) පර්සි ජයමාන්න මෙසේම විශ්ව කෝෂයන්ගෙන් පෙරා දැනුම සිංහලයට නඟයි. ඔහුගේ මේ උත්සාහය නවයුගයෙන් ඇරැඹී, සිළුමිණෙන් වැඩී පසුව විජය, නවලොව වැනි පුවත්පත් වලටද ව්‍යාප්ත වූ හැටි මට මතකයි. අනාගත වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයින් බිහි වන්නේ මේවා කියැවීමෙනි.
1976 දී එඩ්වින් ආරියදාස ලියන එක් ලිපියක් මගේ මතකයේ විශේෂයෙන්ම රැඳී පවතියි. අනාගත මිනිසා වැඩට යනු ඇත්තේ උදය කෑම අතරේ පුවත්පතක් කියවනවා වෙනුවට සැටලයිට් වලින් නිවසටම යොමු කරන දත්ත ධාරාවකින් ලෝකයේම පුවත් ඩිජිටල් තිරයකින් කියැවීමෙන් පසුය ඔහු කියයි. අද වන විට මෙහි සත්‍ය නොවී ඇත්තේ සැටලයිට් කතාව විතරය. වැඩට යන්ට පෙර ගෙදරදී පමණක් නොව වැඩට යන අතර බස් එකේදී කෝච්චියේදීත් අපට ජංගමයෙන් ජාත්‍යන්තර පුවත් කියැවිය හැකිය.
'මිහිර' විද්‍යාවටම කැප වූ පත්තරයක් නොවෙයි. හැබැයි එහි 'විද්‍යා මාමා' මා විද්‍යාව යනු කිමෙක්ද දැන ගන්ටත් බොහෝ කාලයකට පෙර හඳුනාගත්තෙක්මි. මෑතකදී දැන ගන්ට ලැබුණු හැටියට මේ ලිපි පෙළ කේ. ආරියසිංහ ගේ වැඩකි. එසේම ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න ලියූ අධිකරණ වෛද්‍ය විද්‍යා ලිපි පෙළ හැත්තෑව දශකයේ අග භාගයේ පට්ට ජනප්‍රිය වූවකි. මිහිරේ එස්. ඒ දිසානායකගේ 'ඔන්න බබෝ' හි බූ හා බබා ගෙන් පවා යම් යම් දේ උගත හැකිය. මුලදී කට්ටය තිබුණේ රේල් පාරේ බවද, පසුව එය රේල් රෝදයට පැමිණියේ රේල් පාරේ කට්ටයන්හි ගල් කැබලි පස් වැනි දේ පිරීමෙන් නිසා බව මා ඉගෙන ගන්නේ 'ඔන්න බබෝ' කියැවීමෙනි. ඒ පාසල් යන්ටත් පෙරය.
ආතර් සී ක්ලාක් අපේ කුඩා ලෝකයේ මහා වීරයෙකි. හැබැයි ඒ කාලයේදී ඔහුගේ පොත් දෙක තුනකට වඩා පරිවර්තනය වී තිබුණාය නොසිතමි. ඒ අතුරින් සීරියස්ම පරිවර්තනය සිරිල් සී. පෙරේරා ගේ ගැඹුරු මුහුදය. 'චන්ද්‍ර සංචාරකයෝ' ද පරිවර්තනය වී තිබුනද පරිවර්තකයා කවරෙක්ද අමතකය. එස්. එම් බන්දුසීල 'ප්‍රොෆයිල්ස් ඔෆ් ෆියුචර්' පොත් 'අනාගතයේ පැතිකඩක්' නමින් පරිවර්තනය කොට තිබුණාත් මතකය. මා වායුපායාන ගැන මුලින්ම උගත්තේ එයිනි. ක්ලාක් මේ පොතේ මාර්ග වල දුවන රථ වෙනුවට මාර්ගයට ගමන් කළ නොහැක්කේ මන්දැයි අසයි. මෙය ඒ කාලයේ හිතාගන්ට වත් බැරි දෙයක් වුවද අද වන විට වෙනත් හේතූන් නිසා වලකනු නොලැබේ නම් කොයි තරම් හොඳ විසඳුමක්ද සිතේ. බන්දුසීල පසුව 2001 ද සිංහලට පරිවර්තනය කොට සිංහල විද්‍යා සාහිත්‍යයේ විප්ලවයක් කරයි.
2012 දී ජාතික රූපවාහිනියේ තිස් වස් සමරුව වෙනුවෙන් යමක් ලිවිය හැකිද නිලාර් එම්. කාසිම් මගෙන් විමසුවේය. මම පහත ඡේදය ලියා යැවීමි.
“රූපවාහිනිය නූතන ලෝකයේ ප්‍රබලතම ජන මාධ්‍යය වනු ඇති බව, දශක කිහිපයකට මත්තෙන්, මාෂල් මැක්ලුහන් හා ආතර් සී. ක්ලාක් යන දෙදෙනාගේම මතය විය. මේ අනාවැකිය එසේම සත්‍ය වූයේ නොවේ. ඊට වඩා ප්‍රබල හා අන්තර්ක්‍රියාකාරී මාධ්‍ය එළි දකින විට ජාතික රූපවාහිනිය ඒ ආගමනය සොඳුරු සිතින් පිළිගනු මම දිටිමි. අන්තර්ජාලය මෙරට පොදු ජනතාවට සමීප කිරීමේ ගෞරවය මුළුමනින්ම වාගේ හිමිවිය යුත්තේ රූපවාහිනියටයි. ඒ හැරුණු විට ජාතික රූපවාහිනිය ළදරු වියේ පටන්ම විද්‍යා හා තාක්ෂණ දැනුම විසරණය සඳහා කැපව සිටි බව මම අත්දැකීමෙන්ම දනිමි. කුඩා කල නැරැඹූ ඩේවිඩ් ඇටෙන්බරෝගේ "ද ලිවිං ප්ලැනට්", කාල් සේගන්ගේ "කොස්මොස්", ආතර් සී ක්ලාක්ගේ "ද මිස්ටීරියස් වර්ල්ඩ්" සමඟ "සක්වල සැරිසරණ ලිහිණි" ද මගේ සොඳුරු මතකයන්ය. දශක තිහක ජාතික මෙහෙවරට මම සුභ පතමි.”
ඩේවිඩ් ඇටෙන්බරෝ අද කීයෙන් කී දෙනකුට මතකද නොදනිමි. රේටින්ග්ස් බලාගෙන වැඩසටහන් නිෂ්පාදනය නොවුණු ඒ යුගයේ ජාතික රූපවාහිනියට 'ද ලිවිං ප්ලැනට්' වැනි සාපේක්ෂව අඩු ඉල්ලුමක් ඇති විද්‍යා වැඩ සටහනක් පවා හඬ කවන්ට ඕනෑකමක් හා දැක්මක් විය. ආතර් සී ක්ලාක්ගේ 'ද මිස්ටීරියස් වර්ල්ඩ්' ප්‍රචාරය කරන්ට පවා පට්ට උණක් විය. අද ජාතික රූපවාහිනියෙ තියා කවර හෝ චැනලයක මෙවැනි වැඩ සටහනක් ප්‍රචාරය වෙතැයි නොසිතමි. ඒ ඉඩ මෙගා ටෙලි නාට්‍ය, දේශපාලන පුවත් හා දේශපාලන කුකුල් පොර වලින් උදුරා ගනු ලැබ තියේ.
එදා අද මෙන් දිනපතා හෝ සතිපතා පත්තර හැටහුටහමාරක් තිබුණු කාලයක් නොවේ. අප මිළට ගත්තේ දිනමිණ හා සිළුමිණය. මේ පත්තර දෙකේම අනිවාර්ය අංගයක් වූයේ අඩුම ගණනේ විද්‍යා ලිපි එකක් හෝ දෙකකි. දයාසේන ගුණසිංහ අයිසැක් ඇසිමොව්ගේ විද්‍යා ප්‍රබන්ධ අනුසාරයෙන් 'නිල් තාරකාව සොයා ගිය තිදෙනා' හා 'ජලාර්ධයේ අසුරයෝ' ලියන්නේ සිළුමිණටය. සිළුමිණේ හා පසුව ඇරැඹුණු දිවයින ඉරිදා සංග්‍රහයේ විද්‍යා අතිරේක තිබුණු බව මතකය. මීට බොහෝ කාලයකට පසුව, ලංකාවේ විද්‍යා සාහිත්‍යයේ ඉතිහාසය විධිමත්ව හදාරන්ට ඉඩක් ලැබුණු විට මා අවබෝධ කර ගන්නේ මෙසේ විද්‍යා ලිපි පරිවර්තනය කොට හෝ පළ කරන්ට පටන් ගෙන ඇත්තේ අඩු තරමින් සිළුමිණේ මාර්ටින් වික්‍රමසිංහ යුගයේදී බවයි.
අද සතිපතා ජාතික යැයි කියා ගන්නා සමහර පුවත්පත් වලද මෙවැනි අතිරේක තියේ. සමහර ඒවා පිටු හතරකි. සමහර ඒවා පිටු අටකි. ඒවා 'විද්‍යා අතිරේක' නොව 'මිථ්‍යා අතිරේකය'. හැත්තෑව දශකයේ මතු නොව මාර්ටින් වික්‍රමසිංහ යුගයේදී පවා සකසුවකු විසින් පළ කරතැයි සිතිය හැකි පට්ටපල් බොරු, මිථ්‍යා මේ පුවත්පත් සකසුවෝ මහත් අභිරුචියෙන් යුතුව තම පාඨකයින්ට සළු පිළි අන්දා විකුණති. පාඨකයෝද කිසිම ලජ්ජාවකින් තොරව මේ මිථ්‍යා පැකේජ තලු මර මරා අනුභව කරති.
සමස්තයක් සේ ගතහොත් මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ක්ෂේත්‍ර දෙකෙහිම අද මූලික විද්‍යා අධ්‍යාපනයක් ලබා ඇති පිරිසෙහි ප්‍රතිශතයක් සේ වැඩිවීමක් ඇතිය සිතමි. එසේම හැත්තෑව අසූව දශක වලදී මෙන් නොව නොදන්නා දෙයක් අසා දැන ගන්ට, සිංහලෙන් කතා කරන්ට දන්නා පහසුවෙන් පිවිසිය හැකි ආකාරයේ සරසවි උගතුන් විශාල පිරිසක් බිහිව සිටිති. නොඑසේ නම් ඊටත් පහසුවෙන් යමක් සොයා ගැන්ම පිණිස ඉන්ටර්නෙට් වැනි අධිවේගී විසඳුම් ලැබී තියේ. ඇති වී නැත්තේ විද්‍යා සන්නිවේදනයේ දියුණුවකි. මේ හැම දෙනාටම රහ වැටී ඇත්තේ ජනප්‍රිය දේශපාලනයයි. නැතිනම් ජනප්‍රිය කලාවයි. අඩු තරමින් දේශපාලනය හෝ කලාවෙන් වත් ජනප්‍රිය මට්ටමින් එපිටට යන්ට ඕනැකමක් නැත. ඇත්තටම වැටී ඇත්තේ විද්‍යා සන්නිවේදනයම නොවේ. අර්ථවත් සන්නිවේදනයයි.
ෆේස්බුක් හා ඉන්ටර්නෙට් ගත හොත් එහි විද්‍යාව බොරුය, නිව්ටන් මෝඩයෙකි, අයින්ස්ටයින් පිස්සෙකි කියන අමුතුම නිඝන්ඨයින් පිරිසක් බෝ වී තියේ. මේ නිවැරදි විද්‍යා සන්නිවේදනය කඩා වැටීමේ ඍජු ප්‍රතිඵලයකි. මොවුන් කරන කියන දෙයින් විද්‍යාව යනු කිමෙක්ද අන්දෝ සංසාරයක් වත් දන්නා බවක් නොපෙණේ. විද්‍යාවේ නැති 'දර්ශනයක්' ගැන මොවුන්ට ඉගැන්වූවෝ කවරහුද? ගුරුත්වාකර්ෂණය යනු මොවුන්ට අනුව සම්මුති සත්‍යයක්ලු. නිවැරදි යෙදුම ගුරුත්වය (ග්‍රැවිටි) මිස ගුරුත්වාකර්ෂණය නොවේ. එය මුලින්ම නිවැරදි කරමි. දෙවනුව ගුරුත්වය සම්මුති සත්‍යයක්ය කියන පුද්ගලයකු එක්කෝ ගුරුත්වය යනු කිමෙක්ද නොදන්නෙකි. නැතිනම් සම්මුති සත්‍යය යනු කිමෙක්ද නොදන්නෙකි. විද්‍යාව යනු ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රපංචයක්ය මොවුන් පතුරුවන තවත් මිථ්‍යාවකි. ඔය ඉන්ද්‍රිය ගෝචර කතාව හයේ පන්තියේ විද්‍යා පරීක්ෂණ වලට නම් අදාළ විය හැකිය. සෙනසුරුගේ ඝනත්වය පෘථිවියේ ඝනත්වයෙන් අටෙන් එකකැයි අප දන්නේ ඉන්ද්‍රිය පද්ධතිය ඇසුරින් නොවේ.
(චානුක වත්තේගම විසිනි)
ඔක් 13, 2014 (විමසුම) – මගේ ළමා කාලය වැඩි හරියක්ම ගෙවී යන්නේ හැත්තෑව දශකයේයි.
හැබැයි උසස් පෙළින් හෝ සාමාන්‍ය පෙළින් ඉහළට විද්‍යාව හදාරා නැති මුත් මේ ෆේස්බුක් දැනුමැත්තෝ නිව්ටන්ට අයින්ස්ටයිටත් වඩා විද්‍යාව දන්නෝය. ලෝකය ඇතැඹුලක් සේ ගෙන නොබෙල් ත්‍යාග ලාභීන්ට වූ වැරැදි සොයන්නෝය.
මේ අලුත් ප්‍රවණතාවයක් නොවේ. "එංගලන්තෙ පරණ පැටන් - ලංකාවේ අලුත් පැටන්" කීවාක් මෙන් 1960-70 ගණන් වලදී බටහිර ලෝකයේ ජනප්‍රිය වූ (පසුව ප්‍රතික්ෂේප වූ) පෝල් ෆෙයිආබන්ට්, තෝමස් කූන්, ෂා ලාගෞල් වැන්නවුන්ගේ අදහස් රොත්තක් අද දේශීයත්වයේ සළුපිළි අන්දා 'ගන්න අපේ දේ' ලේබල් එකක් ගසා මෙරටට ආනයනය කරනු ලැබ ඇත්තේය. පෝල් ෆෙයිආබන්ට්ගේ 'අගනේස්ට් මෙතඩ්' වැනි පොතක් ගැන අසාවත් නැති අපේ ෆේස්බුක් වීරයෝ විද්‍යාවේ මහා චින්තන විප්ලවයක් වන්නේය සිතා නොදන්නා මඟුල් කොටමින් ඒ මිථ්‍යාවෙන්ම මත් වෙමින් සිටිති.
හැත්තෑව දශකයට සාපේක්ෂව දැනුමින් බොහෝ ඉදිරියෙන් සිටිය යුතු අද සමාජය ගොස් ඇත්තේ ආපස්සට නම් ඒ වරදේ වගකීමෙන් සැලකිය යුතු කොටසක් ජනමාධ්‍යකරුවන් විසින් දැරිය යුතුය මම සිතමි. හැබැයි එයින් අදහස් වන්නේ විද්‍යාඥයින් ඇතුළු අනෙක් පිරිස් සර්ව නිර්දෝශී බව නම් නොවේ. නිවැරදි විද්‍යා සන්නිවේදනයක් ඇති විය යුත්තේ මේ සියළු දෙනාගේම එකතුවෙනි. සහයෝගයෙනි.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: එදා විද්‍යා සන්නිවේදනය අද නැත්තේ ඇයි?
Normally Satisfaction recedes as more options comes to the fore.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: එදා විද්‍යා සන්නිවේදනය අද නැත්තේ ඇයි?
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27