- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති
Image copyright AFP
Image caption ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් අනතුරුව බටහිර ඉවුරේ උණුසුම ඉහළ යමින් පවතී
ඇමෙරිකානු ජනාධිපතිවරයා ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට එරෙහිව බටහිර ඉවුර සහ ගාසා තීරයේ පලස්තීනුවෝ වර්ජනයකට එළඹ සිටින අතර වීථි බැස උද්ඝෝෂණයේ යෙදෙති.
නැග එමින් පවතින උණුසුම් තත්ත්වය මැද ඊශ්‍රායලය අමතර හමුදා භටයින් සිය ගණනක් බටහිර ඉවුර වෙත යොමු කර තිබේ.
ගැටුම්වල දී අවම තරමින් පලස්තීනුවන් අට දෙනෙකුවත් තුවාල ලබා ඇති බව මූලික වාර්තාවල සඳහන් වේ.
කලාපයට සංවේදී වූ කරුණක් සම්බන්ධයෙන් දශක ගණනාවක් පැවති ඇමෙරිකානු පිළිවෙත ආපසු හැරවීමට ජනාධිපති ට්‍රම්ප් ගේ නිවේදනය හේතුවී තිබේ.
ඊට ලෝකයේ නන්දෙසින් නොසතුට පළවෙමින් ඇත.
වොෂිංටන් පාලනයට බොහෝ සමීප මිතුරු පාර්ශ්ව ඇමෙරිකාවේ පියවරට එකඟ නොවන බව පැවසූ අතර ඊට දක්වන ප්‍රතිචාරය තීරණය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හා අරාබි ලීගය ඉදිරි දිනවල රැස්වීමට නියමිතය.
ඇමෙරිකාවේ ප්‍රකාශය යළිත් වරක් ප්රචණ්ඩත්වය මතු මිරීමට ඉවහල් වෙතැයි බිය පළවී තිබේ. නව ඉන්ටිෆාඩා එනම් නැගිටීමක් සඳහා පෙළඹෙන ලෙස පලස්තීන ඉස්ලාමීය හමාස් සංවිධානය දැනටමත් ඉල්ලා තිබේ.
"අද මම එය ඉටු කරනවා"
Image copyright AFP
Image caption "අද මම එය ඉටු කරනවා"
"අද මම එය ඉටු කරනවා" ඇමෙරිකානු නායකයා පැවසීය.
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම "යථා තත්ත්වය පිළිගැනීමට වඩා වැඩි හෝ අඩු දෙයක් නෙවෙයි." යැයි පැවසු ඔහු, "ඒක තමයි කළ යුතු නිවැරදි දේ" යැයි ද සඳහන් කළේය.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ දැන්වීමක් පළකළ රිපබ්ලිකන් යුදෙව් සන්ධානය ජනාධිපතිවරයාට ස්තුතිය පළකළේය.
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ, දිගු කාලීනව පවතින ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට විසඳුමක් වශයෙන් රාජ්‍ය දෙකක පියවර සඳහා ඇමෙරිකාව තවදුරටත් සහයෝගය පළකරන අතර එය දෙපාර්ශ්වයේම අනුමැතිය ලදහොත්, ඊශ්‍රායලය පසෙකින් පිහිටන ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය වීම දකින්නට ලැබෙනු ඇති බවය.
ඊශ්‍රායලය හා පලස්තීනය පවසන්නේ කුමක්ද ?
ඇමෙරිකානු පියවරට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජනාධිපති ට්‍රම්ප් ට ස්තුතිවන්ත වන බව කීය.
"ශතවර්ෂ තුනක ඉඳලම අපේ අපේක්ෂාවල, අපේ සිහිනවල, අපේ නැමදුම්වල අරමුණ වෙලා තිබුනේ ජෙරුසලමයි." ඔහු ට්විටර් පණිවිඩයක සඳහන් කළේය.
කෙසේවෙතත්, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පැවසුවේ ජෙරුසලම, "පලස්තීන රාජ්‍යයේ සදාතනික අගනුවර" බවය.
ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රකාශය "පිළිගත නොහැකි" බව ඔහු කියා සිටියේ ඇමෙරිකාව තවදුරටත් සාම ක්රියාදාමයේ මැදිහත්කරුවකු නොවන බව පවසමිනි.
මේ තීරණය සම්බන්ධයෙන්, ගාසා තීරයේ පාලනය ගෙනයන හමාස් සංවිධානය කළ ඉල්ලීමකට අනුව ගාසා තීරයේ උද්ඝෝෂණ පැවති බව හමාස් සංවිධානයට ලැදි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
කලාපය තුළ ඇමෙරිකාවේ අභිප්රායන් අනුව ජනාධිපති ට්‍රම්ප් ගන්නා ලද තීරණය "අපායේ දොර විවර කිරීමක්" ලෙස හමාස් සංවිධානය පවසා තිබිණි.
Image copyright AFP
Image caption පලස්තීන බලප්‍රදේශ පුරා උද්ඝෝෂණ මතුවෙමින් තිබේ
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස මුලින්ම පිළිගැනීමට ඇමරිකාව සූදානම්
මේ ප්‍රකාශය සුවිශේෂීවන්නේ ඇයි ?
ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රකාශය හේතුවෙන්, ජෙරුසලමේ තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දරන මතයට වඩා වෙනත් තැනකට ඇමෙරිකාව යොමු කර තිබේ.
පලස්තීනුවන් විසින් නැගෙනහිර ජෙරුසලම සලකනු ලබන්නේ සිය අනාගත රාජ්‍යයේ අගනුවර ලෙසය. 1993 දී එළඹුණු ඊශ්‍රායල - පලස්තීන සාම ගිවිසුම අනුව, ජෙරුසලමේ අවසාන තත්ත්වය සාකච්ඡාවට ගනු ලබන්නේ සාම සාකච්ඡාවල අවසන් අදියරවලදීය.
ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්වෛරීත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් නොවුනකි. එසේම මේ වනතෙක් සියලු රටවල් සිය තානාපති කාර්යාල පවත්වාගෙන යනු ලබන්නේ ටෙල්අවීව් නුවර ය.
යුදෙව් දහම, ඉස්ලාම් හා ක්‍රිස්තියානි යන ලබ්ධීන්ට අයත් පුජනීය ස්ථාන ජෙරුසලමේ පිහිටා ඇත.
පැරණි නගරය ද ඇතුළත් නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායලය විසින් ඈඳා ගනු ලැබුවේ 1967 වසරේ ක්‍රියාත්මක වූ "දින හයේ යුද්ධය" නිමාවේදීය. එහෙත් එය ඊශ්‍රායලයේ කොටසක් වශයෙන් ජාත්‍යන්තරව පිළිගෙන නැත.