- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස
ගෙවී ගිය යුගයේ උපාධියකට වටිනාකම ලැබුනේ ඒ උපාධිය සඳහා ඉගෙන ගනිද්දී ලැබූ දැනුම නිසා ය.
දැනුම තිබුනේ ගුරුවරුන් ළඟ ය. ඒ දැනුම ලබා ගැනීමට එවැනි ගුරුවරුන් ඉන්නා ආයතනයකට යා යුතු විය. එසේ ගොස් ඔවුන්ගෙන් කරුණු අසා දැන අමතර පොත්පත් ද කියවා විභාගය සමත් විය යුතු විය. ඒ සමස්ත ක්‍රියාවලිය හරහා ලැබුනේ දැනුම ය.
අදටත් එය වලංගු ද?
දැනුම අන් බොහෝ දේ මෙන්ම කල් ඉකුත් වෙයි. එ් සත්‍යය හැමදාටම අදාළ විය. එහෙත් මෑතක් වන තුරු දැනුම කල් ඉකුත් වූයේ කාලයක් ගත වූ පසු ය.
එහෙත් දැන් කිරි මෙන් එය ද ඉක්මණින් කල් ඉකුත් වීමට පටන් ගෙන තිබේ.
ඊට අමතරව දැනුම දැන් තිබෙන්නේ මිනිසුන්ගේ හිස් තුළ නොවේ. පොත පතක අකුරු අතර ද නොවේ. අන්තර්ජාලය නැමැති සාගරයේ ය.
එකම ප්‍රශ්නය ඇත්තේ කෙළින්ම පානය කළ නොහැකි වීමේ ය.
අද උපාධි අධ්‍යයනක දී සිදු වන්නේ පසු කලෙක පානය සඳහා ජලය රැස් කර තැබීමට සමාන ක්‍රියාවක් නොවේ. අවශ්‍ය වූ විට මේ ලුණු සහිත ජලය පානීය ජලය බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය ගැන දැන ගැනීමට සමාන එකකි.
එහි දී වඩාත් අවධානය යොමුවනු ඇත්තේ දැනුම සම්බන්ධයෙන් නොවේ. කුසලතා සම්බන්ධයෙනි.
අවශ්‍ය දැනුම ලබා ගැනීමේ හා ඒවා අදාළ දැනුම බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට හැකි කුසලතාවය ලඟා කර ගැනීම සම්බන්ධයෙනි. විශේෂයෙන් අන්තර්ජාලයේ අතරමං නොවී එහි ඇති අව්‍යාජ දැනුමට ප්‍රවේශ විය හැකි කුසලතාවය ළඟා කර ගැනීම සම්බන්ධයෙනි. එසේ ප්‍රවේශ වීමෙන් පසු ලබා ගන්නා ඒ දැනුම යොදා ගෙන ප්‍රායෝගික ප්‍රශ්නයන් විසඳීමට ඇති කුසලතාවය සම්බන්ධයෙනි.
දැනුම පමණක් ලබා දෙන එහෙත් අප ඉහත සඳහන් කළ කුසලතා ලබා නොදෙන උපාධියකින් දැන් ඇති වැඩක් නැත.
ඒ ගැන මානව සම්පත් කළමනාකරුවන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ය. ඊට අමතරව එය උපාධි දෙන ආයතනවල ද අවධානයට ලක් විය යුතු ය.
උපාධි දෙන ආයතන පමණක් නොව උපාධි අපේක්ෂකයන් ද ඉදිරියේ උපාධි අපේක්ෂකයන් වීමට බලාපොරොත්තු වෙන අය ද මේ වෙනස් වී ඇති තත්වය ගැන සැළකිළිමත් විය යුතු ය. නැතිනම් වෙන්නේ සෙසු අය ජීවිතය ජයගන්නවා බලමින් තමන් වෙර වීරියෙන් මුදල් වියදම් කිරීමෙන් ලද උපාධි සහතිකය බල බලා හීල්ලීමට ය.