- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ගංවතුර, නාය යෑම් හේතුවෙන් ජීවිත හානි රැසක් ?
BBC Sandeshaya පැයකට පෙර
Image caption වෙයන්ගල්ල, අගලවත්තේ ගංවතුර තත්වය
දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං සමග හටගත් නාය යාම් හා ගංවතුර හේතුවෙන් ජිවිත හානි රැසක් වාර්තා වෙමින් පවතී.
බුලත්සිංහල බෝගහවත්ත ප්‍රදේශයේ නායයාමකින් 6 දෙනෙකු මිය ගොස් 4 දෙනෙකු අතුරුදහන්වී ඇති බව පොලිසිය තහවුරු කළේය.
සපුගස්කන්ද හෙයියන්තඩුවේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර කහවත්ත ප්‍රදේශයේ ගසක් කඩාවැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
බුලත්සිංහල කබෝවිල කන්ද නාය යාමෙන් නිවාස තුනක සිටි 8 දෙනෙකු අතුරුදහන්වී ඇති අතර, වෙයන්ගල්ල අගලවත්ත ප්‍රදේශයේද නාය යාමකින් පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදහන්වී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
අගලවත්ත ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදහන් වූ 9 දෙනාගේ සිව් දෙනකුගේ මළ සිරුරු සොයාගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසියෙකුවන එම් සහරාන් බීබීසී යට ප්‍රකාශ කළේය. ඉතිරි පිරිස සොයා ගැනීමට ප්‍රදේශයේ තරුණයන් විශාල වෙහෙසක් දරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
'වහාම ඉවත්වෙන්න'
ගංවතුර හා නාය යාමෙන් ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, හම්බන්තොට හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබේ.
Image caption වෙයන්ගල්ල, අගලවත්තේ ගංවතුර තත්වය
පස් කඳු කඩාවැටිමේ හා ජල ගැලීම් හේතුවෙන් සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමූ බව පළාත් අධ්‍යාපන කාර්යාලය සිකුරාදා (මැයි 26) උදෑසන නිවේදනය කළේය.
පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා මේ වනවිටත් ආරක්ෂක හමුදාව යොදවා තිබේ.
ආපදා තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් ද සිකුරාදා උදෑසන අරලිය ගහ මැදුරේ පැවැත්වුණි.
ඉදිරි පැය 24 ඇතුලත රට පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් පතිත වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කර තිබෙන අනතුරැ ඇඟවීම එහිදී අවධානයට ලක් වී තිබේ.
ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් මේ අතර ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි.
ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවරත්න පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.