- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොළඹ කොටස් අදත් 100 කින් පල්ලම් බසී. 2016 සති දෙකට 6.5% කින් පහළට
අද (14) දිනය තුළ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 108.17 කින් පහළ යන ලදී. මෙම සතිය තුළ ඒකක 100 ක් ඉක්මවා කොටස් මිල මට්ටම් පහළ ගිය දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර පසුගිය අඟහරුවාදා (12) ඒකක 115.97 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ යන ලදී. ඊයේ (13) දිනය හැරෙන්නට 2016 වසරේ සෑම දිනක දීම වාර්තා වූයේ මිල දර්ශක පහළ යාමකි. ඊයේ දින පමණක් ඒකක 20.02 කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ ගියේය.
අද දිනයේ දී මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ සමාගම් ලෙසින් ශ්‍රී ලංකා ටෙලිකොම් රු. 40.70 දක්වා 8.33% කින්, ලංකා දුම්කොළ සමාගම රු. 950.10 දක්වා 2.05% කින්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. 165.10 දක්වා 1.73% කින්, කොමර්ෂල් බැංකුව රු. 130.00 දක්වා 2.91% කින් හා ඩිස්ටිලරීස් කොටස් මිල රු. 221.00 දක්වා 3.79% කින් පහළ යාම දැක්විය හැකිය.
අද දින වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 978.74 කි. මෙයින් මිලයන 258.35 ක් විදේශීය විකුණුම් ලෙසින් වාර්තා වේ. විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 314.99 කි. වසරේ පළමු සති දෙකක කාලය තුළ දී ශුද්ධ විදේශ ගලා යාම් ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 2 ඉක්මවා තිබේ. කෙසේ වෙතත් 2015 සමස්ත වසර පුරාවටම වාර්තා වූ ශුද්ධ විදේශීය ගලා යාම් අගය රුපියල් බිලියන 4.43 ක් විය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ෆස්ට් කැපිටල් ඉක්විටීස් (පුද්) සමාගමේ පර්යේෂණ අංශ ප්‍රධානී දිමන්ත මැතිව් මහතා කියා සිටියේ චීන ආර්ථිකයේ දක්නට ලැබෙන පසුගාමීත්වය අප වැනි සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳපොළ වෙත දැඩිව බලපා තිබෙන බවයි. “මෙම වාතාවරණය 2016 ජූනි මාසය පමණ වනතෙක් යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ඉහළ දැමූ නිසා සංසරණය වන මුදල් ප්‍රමාණය අඩුවෙනවා. මේ නිසා පොළී අනුපාතවල වැඩිවීමක් සිදුවෙන්න පුළුවන්. ඉදිරි කාලයේ දී මෙහි බලපෑම ආර්ථිකයට දැනෙන්නට පටන් ගනීවි“, යැයි මැතිව් මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ෆස්ට් කැපිටල් ඉක්විටීස් හි පර්යේෂණ අංශ ප්‍රධානියා කියා සිටියේ මෙම කාලය කොටස් වෙළෙඳපොළ වැනි ඉහළ අවදානමක් ඇති ආයෝජන සඳහා එතරම් සුදුසු නොවන බවයි. පොළී අනුපාත වැඩිවීමේ වාතාවරණයක් තුළ සමාගම්වල ලාභ අඩුවීමත්, මූල්‍ය පිරිවැය ඉහළ යාමත් දැකිය හැකි බව ඔහු කියා සිටියේය. “2015/16 මූල්‍ය වර්ෂයේ දී සමාගම්වල ලාභ වර්ධනය 11% ක් පමණ වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එසේම අපගේ පුරෝකථනය වන්නේ 2016/17 මූල්‍ය වර්ෂයේ දී සමාගම්වල ලාභ වර්ධනය 4% – 5% කට පමණ සීමා විය හැකි බවයි. මීට අමතරව මෙරට රුපියලේ අගය විදේශ මුදල් හා සැසඳීමේ දී දිගින් දිගටම අවප්‍රමාණය වීමත් කොටස් ආයෝජන අධෛර්යයමත් වීමට බලපා තිබෙනවා“, යැයි දිමන්ත මැතිව් මහතා කියා සිටියේය.
වසරේ මේ දක්වා කාලය තුළ සියලු කොටස් මිල දර්ශකයෙහි හැසිරීම පහත පරිදි දැක්විය හැකිය.
http://biz.adaderana.lk/