- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
කටාර් අර්බුදය: "කලාපීය ආරක්ෂාවට තර්ජනයක්"
BBC Sandeshaya පැය 2 කට පෙර
කටාර් සහ සෞදිය ප්‍රමුඛ අරාබි රටවල් අතර පවතින රාජ්‍යය තාන්ත්‍රික අර්බුදය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
ඩෝහා පාලනය සිය ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට ගත් තීන්දුව "කලාපීය ආරක්ෂාවට තර්ජනයක්" බව ඉහත කී අරාබි රටවල් පවසති.
සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් යන රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම, කලාපය අස්ථාවර කිරීමේ අරමුණින් කටාර් රාජ්‍යය තවදුරටත් සිය ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන බවට සාක්ෂියක් බවය.
ඒ අනුව කටාර් රාජ්‍යය වෙත දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් බලපාන ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට ඉහත කී රටවල් අනතුරු අඟවති.
සෞදි අරාබිය ඇතුළු සෙසු රටවල් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ප්‍රතික්ෂේප කළ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
කටාර් සමග පවතින රාජ්‍යය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට ඉහත කී අරාබි රටවල් ජුනි මස ආරම්භයේ කටයුතු කළහ.
ඒ සමග සිය දේශ සීමා වසා දමමින් කටාර් රාජ්‍ය වෙත සම්බාධක පැනවීමටත් එම රටවල් පියවර ගත්හ.
ඉල්ලීම් 13 ක්
අල් ජසීරා රූපවාහිනී සේවය වසා දැමීම, ඉරානය සමග පවතින සබඳතා අඩු කිරීම, ජිහාඩ් කණ්ඩායම්වලට සහාය ලබා දීමෙන් වැළකී සිටීම කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන යෝජනා අතර වේ.
මේ අතර ඇමරිකානු රාජ්‍යය ලේකම් රෙක්ස් ටිලර්සන්, ගල්ෆ් කලාපයේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කරන කුවේට් රාජ්‍යය වෙත සඳුදා (ජුලි 10) පැමිණීමට නියමිතය.
කටාර් රාජ්‍යය භාණ්ඩ ආනයනය ඔස්සේ මූලික අවශ්‍යතා සපුරා ගනු ලබන අතර සෙසු අරාබි රටවල් විසින් සීමා පනවනු ලැබීමත් සමග එහි ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය.
ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ
කටාර් රාජ්‍යය හා සම්බන්ධ එකම ගොඩබිම් මාර්ගය වසා දමා ඇති අතර ඒ වෙත ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ මුහුදු සහ ගුවන් මාර්ගයෙන් පමණි.
ඒ වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම සඳහා තුර්කිය සහ ඉරානය ඉදිරිපත්ව සිටිති.
BBC සිංහල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න
කෙසේ නමුත් සම්බාධක පැනවීම හේතුවෙන් සිය රටේ පැවැත්මට බාධා එල්ල වී නොමැති බව කටාර්හි විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි අවධාරණය කළේය.
ශ්‍රී ලාංකිකයන්
ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.
මාස ගණනාවකට අවශ්‍ය තරම් ආහාර සංචිත තමන් සතු බව කටාර් බලධාරීන් එහි වෙසෙන තානාපතිවරුන්ට දන්වා ඇති බව කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගියදා සඳහන් කළේය.
කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.