- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ
Image copyright Getty Images
සිය සැමියා අතුරුදහන් කිරීමට සම්බන්ධ බවට චෝදනා ලබන යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ ලිපි ගොනු අතුරුදහන් වී තිබේ නම්, එම ලිපි ගොනු භාරව සිටි හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගැනීම යුද හමුදාපතිවරයාගේ වගකීම බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.
තමන් ඉදිරිපත් කළ තර්කය පිළිගත් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, අදාළ නිලධාරීන් පිළිබඳව ද පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව සලකා බැලීමට ප්‍රතිඥා දුන් බවත් ඇය බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
2010 ජනවාරි 24 දින සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ ඒව බව කියා සිටියේ සදුදා (ජනවාරි 15) හමුදාපතිවරයා මුණගැසීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.
පසුගිය දෙසැම්බර් මාසයේ බීබීසී සිංහල සේවය සමග සජීව ෆේස්බුක් සාකච්ඡාවකට එක් වූ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ, 2010 සිදු වූ සිදුවීමක් සම්බන්ධ ලිපි ගොනු මෙතරම් කලක් සුරැකී තිබිය හැකි දැයි විමසුම් ඇසින් බැලිය යුතු බවය.
අදාළ පරීක්ෂණයට සහාය දීමෙන් වැලකී සිටින බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ හමුදාපතිවරයා, "මේකේ තිබ්බ නම් ෆයිල් එකක්, මම 2015 හමුදාවට ඇවිල්ල, 2017 හමුදාපති වෙනකොට ප්‍රායෝගිකව කල්පනා කළොත් ඒ ෆයිල් එක තියේවිද?," යනුවෙන් ප්‍රති ප්‍රශ්නයක් මතු කළේය.
එසේ නම් එම ලිපිගොනු අතුරුදහන් වී තිබේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට ඔහුගේ ප්‍රතිචාරය වූයේ "කවුරු හරි මේකට සම්බන්ධ කෙනෙක් ඉන්නව නම්, පරීක්ෂණයක් යන බව දන්නවා නම්, මේක බුද්ධි අංශය නම්, බුද්ධිමත් නැද්ද ඒ අයවලුන්," යන්නය.
සඳුදා හමුදාපතිවරයා මුණගැසුණු අවස්ථාවේ ඔහු සමග ඉතා සුහදව අදහස් හුවමාරු කරගත් බව සඳහන් කළ සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ, සිය සැමියා පැහැර ගෙන් ගොස් අතුරුදහන් කරවීම සම්බන්ධ පරීක්ෂණයට සහාය දෙන බව ඔහු එහිදී යළිත් වරක් අවධාරණය කළ බවය.
"ඒ සම්බන්ධයෙන් මොනවා හරි එයාට පියවරක් ගන්න තියෙනව නම් පැහැදිලිවම ඒ පියවර ගන්නවා කියල එතුමා පැවසුවා."
"මේ ආණ්ඩුව බලයට ආවේ ලසන්ත, ප්‍රගීත්, රවිරාජ් නම් විකුණලා"
සිය ප්‍රතිඥාව ප්‍රකාර, පරීක්ෂණයට අදාළ ලිපි ගොනු අතුරුදහන් කළ නිලධාරීන් සම්බන්ධ තොරතුරු හමුදාපතිවරයා රහස් පොලිසිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම්, එය අධිකරණ විමර්ශනයට ප්‍රයෝජනවත් වනු ඇතැයි යන්න සන්ධ්‍යා එක්නැලිගොඩගේ විශ්වාසයය.
හමුදාපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ ඇය සිය ඉල්ලීම් රැගත් ලිපියක් ද ඔහුට භාර දී තිබේ.
"රණවිරුවන්" සහ මිනීමරුවන් අතර වෙනස පැහැදිලිව හඳුනාගත යුතු බවට හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පසුගියදා මහනුවරදී මාධ්‍ය හමුවේ මෙන්ම බීබීසී සිංහල සේවය සමග පළ කළ අදහස පිළිබඳව ද එම ලිපියේ විශේෂයෙන් සඳහන් කොට තිබේ.
"හමුදාපතිතුමණි පසුගිය කාලයේ ලංකාවේ අත්දැකීම් වලට අනුව නම් මට හිතෙන්නේ දේශපාලඥයින් තම සියළු අකටයුතුකම් කරවාගැනීමට "රණ විරුවා" යන වචනය පිරුවටයක් සේ පාවිච්චි කළා සහ කරනවා යන්නයි," යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.
ආරක්ෂා කරන්නේ රණවිරුවන් පමණයි - ජනපති
හමුදාපතිවරයා වෙත යොමු කළ සිය ලිපියේ තවදුරටත් කරුණු දක්වන සන්ධ්‍යා එක්නැලිගොඩ, විශේෂයෙන්ම ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාජ්‍යයට විරුද්ධව අපරාධයක් කළ බවට චෝදනා ලබා සිටින පුද්ගලයන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ප්‍රශ්න කොට තිබේ.
"කුමණ පක්‍ෂයක හෝ වේවා මන්ත‍්‍රී වරයෙක් නම් ඔහු හෝ ඇය රජය, රාජ්‍යය හා ව්‍යවස්ථාව සුරැකීමට බැඳී සිටියි. රජයට එරෙහිව අපරාධ කළ අපරාධකරුවන් "රණ විරුවන්" සේ හුවා දක්වමින් මන්ත‍්‍රීවරුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම නිවැරදිද?."
"බන්ධනාගාරගතව සිටි මුලූ කාලය පුරාම" බන්‍ධනාගාර රෝහලේ ගත කළ සිය සැමියා පැහැර ගැනීමේ චෝදනා ලබා සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ඇප නියම කෙරුණු වහාම යළිත් සිය රැකියාවට වාර්තා කිරීමට "සෞඛ්‍ය සම්පන්න" වූයේ කෙසේ දැයි ද ඇය සිය ලිපියේ වැඩිදුරටත් ප්‍රශ්න කොට තිබේ.