- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
යුද අපරාධ සහ අතුරුදහන් කිරීම්: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ජිනීවා විමසුමට
යුද අපරාධ චෝදනා සම්බන්ධ විමර්ශන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ඇතුළු කරුණු ඇතුළත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව ලබන බදාදා (නොවැම්බර් 15) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමාලෝචනයට ලක් කරනු ලැබීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්ව කාලාවර්ත සමාලෝචන (Universal Periodic Review - UPR) ක්‍රියාකාරී කණ්ඩායම විසින් ජිනීවා නුවරදී අදාළ විමර්ශනය පවත්වන බව මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
වින්දිතයන් සහ නෑදෑයන්ට වන්දි ගෙවීම සහ ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, සත්‍ය කොමිසමක් පිහිටුවීම පිණිස ගෙන තිබෙන පියවර, සියලු ප්‍රජාවන් සඳහා යුක්තිය පසිඳලීමේ ක්‍රමවලට සමාන ප්‍රවේශයක් ලබාදීම, වධ හිංසා සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තා, වැඩිහිටියන් අතර සමරිසි සම්බන්ධතා අපරාධ ලෙස නොසැලකීම පිණිස ගෙන තිබෙන පියවර, ආගමික සුළුතර ප්‍රජාවේ ආරක්ෂාව පිණිස ගත් පියවර, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීම පිණිස ගත් පියවර මෙන්ම මුස්ලිම් විවාහ හා දික්කසාද පනත පිළිබඳව ද අදාළ විමර්ශනයේ දී සලකා බැලෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
සත්‍යය කොමිසම සැප්තැම්බරයේ
යුද අපරාධ චෝදනා පිළිබඳව විමසා බැලීම පිණිස ඉතා ඉක්මනින්ම කමිටුවක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 මාර්තු මාසයේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආණ්ඩුව කිහිප වතාවක්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ද එම ප්‍රතිඥාව දී තිබෙන නමුත් මෙතෙක් එවැනි කමිටුවක් පත් කර නැත.
එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන සමයේ සිදු වූ දේ පිළිබඳව සොයා බැලීම පිණිස සත්‍ය කොමිසමක් පත්කරන බව එවකට විදේශ අමාත්‍ය පදවිය හෙබවූ මංගල සමරවීර අමාත්‍යවරයා ද කිහිප වතාවක්ම සඳහන් කර තිබේ.
මේ අතර අතුරුදහන්වූවන්ගේ කාර්යාලය (OMP) පිහිටුවීමේ පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා අත්සන් තැබූ අතර, එහි මෙහෙයුම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අය වැය යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
කෙසේ වුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට එරෙහි "බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය" පිළිබඳ පනත මෑතක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවත්, විරුද්ධ පක්ෂයෙන් සහ ඇතැම් ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ආණ්ඩුව විසින් ඒ පිළිබඳ විවාදය දින නියමයකින් තොරව කල් දමනු ලැබ තිබේ.
වැඩිහිටියන් අතර සමරිසි සම්බන්ධතා පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ දැනට පවතින නීතිය සංශෝධනය කිරීමේ උත්සාහයක් තමන් ව්‍යවර්ථ කළ බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රසිද්ධියේ කියා සිටියේය.
කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය මැඩලීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සහභාගිත්වයෙන් ආණ්ඩුව විසින් වැඩසටහන් ගණනාවක්ම දියත් කරනු ලැබ තිබේ.
ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත්
මේ අතර මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මුස්ලිම් ක්‍රියාකාරිනියන් දිගින් දිගටම ඉල්ලා සිටින නමුත් පසුගියදා පැවති පාර්ලිමේන්තු අනු කමිටුවකදී පවා ඒ පිළිබඳව එකඟතාවක් ඇති නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෑත දී බීබීසී සිංහල සේවයට පැවසීය.