- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
කටාරයේ ශ්‍රී ලංකා පාසල ගැන 'ස්වාධීන පරීක්ෂණයක්'
Image copyright Stafford sri lankan school doha
දහසය වසරක් මුළුල්ලේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා පාසල වසා දැමීමට සැරසෙන බවට එල්ලවන චෝදනාව පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසා නිසි පරීක්ෂණයක් පවත්වන බව ආණ්ඩුව පවසයි.
පාසල වසා දැමීමට උත්සාහ කරන බවට එහි නිර්මාතෘවරයා ඇතුළු භාරකාර මණ්ඩලය සහ ඇතැම් දෙමාපියෝ කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට චෝදනා කරති.
එහෙත් මේ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ, කටාරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ අදාළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
නිසි ප්‍රමිතියකින් තොරව පාසලේ 'හිට්ලර්වාදී පාලනයක්' පවත්වාගෙන යන බවට දෙමාපියන්ගෙන් තමන්ට පැමිණිලි ලැබී ඇති බැවින් උසස් ප්‍රමිතියකින් යුතුව පාසල පවත්වා ගැනීම සිය උත්සාහය බව තානාපතිවරයා අවධාරණය කරයි.
Image copyright dailynews.lk
Image caption කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ
ඒ සඳහා තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ දෙමාපියන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පත්කිරීම විනා එය වසා දැමීමේ කිසිදු සැලසුමක් නොමැති බව ද තානාපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
දිගු කලක් කටාරයේ වාසය කරන කුමුදු ෆොන්සේකාගේ අදහසක් ප්‍රකාර දරුවන් 14 දෙනෙකු සහිතව 2001 ඔක්තෝබරයේ දී දෝහා නුවර ආරම්භ කරන ලද ස්ටෆර්ඩ් (Stafford) ශ්‍රී ලංකා පාසලේ මේ වනවිට 1000 කට අධික දරුවන් පිරිසක් ඉගෙනුම ලබති.
ආරම්භයේ සිටම පාසල පාලනය කරනු ලැබුවේ කුමුදු ෆොන්සේකා ගේ සභාපතිත්වයෙන් යුත් භාරකාර මණ්ඩලයක් විසිනි.
පාසලේ අධ්‍යාපනය හැදෑරීම පිණිස එක් දරුවෙක් මාසයකට කටාර් රියාල් 850 සහ 900 කට ආසන්න මුදලක් ගෙවන බව බීබීසී සිංහල සේවය සමග සඳහන් කළ කුමුදු ෆොන්සේකා, වෙනත් පාසලක මාසික ගාස්තුව කටාර් රියාල් 3800 ක් පමණවන බව පැවසීය.
Image copyright Stafford sri lankan school
Image caption පාසලේ නිර්මාතෘවරයා සහ භාරකාර මණ්ඩලයේ සභාපති කුමුදු ෆොන්සේකා
සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා පදනමක් මත භාරකාර මණ්ඩලය එය පාලනය කරන බව පවසන සභාපතිවරයා, දරුවන්ගේ පාසල් ගාස්තුවලින් මුදල් ගෙවනු ලබන්නේ පාසලේ ගුරුවරුන්ට පමණක් බව ද කියා සිටියේය.
කටාර් රියාල් මිලියන 17 ක පමණ මුදලක් පාසල් අරමුදලේ ඉතිරිව තිබෙන අතර, ඒ මුදල සහ තවත් අරමුදල් රැස් කර රියාල් මිලියන 60 ක වියදමින් පාසල වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සිය බලාපොරොත්තුව බව ද ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය.
තානාපතිවරයා පාසල වසා දැමීමට හෝ පවරා ගැනීමට සැරසෙන්නේ මේ මුදල පිළිබඳව 'තන්හාවෙන්' බවට කුමුදු ෆොන්සේකා චෝදනා කරන නමුත් තානාපතිවරයා එම චෝදනාව ද තරයේ බැහැර කරයි.
පාසලට අයත් කිසිදු මුදලක් ශ්‍රී ලංකාවට නොයවන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ තානාපතිවරයා පවසන්නේ, පාසලේ අරමුදල් ඉතිරිව තිබියදී දරුවන්ට නිසි වායුසමන පහසුකම් පවා ලබා නොදී නිසි ප්‍රමිතියෙන් තොර පරිපාලනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන් කටාර් රාජ්‍යයේ අධ්‍යාපනය පිළිබඳ අධිකාරිය පවතින සුප්‍රීම් සභාව වෙත (Supreme Council) පැමිණිලි කළ බවය.
Image copyright Wasantha senanayake
Image caption පාසල වසා දැමීමේ උත්සාහයක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබෙනවා - රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක
ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කළ යුතුව තිබුණු කාර්යයක් ඉටුකිරීම පිළිබඳව පාසලේ නිර්මාතෘවරුන්ට සිය ස්තුතිය හිමිවන නමුත් එය උසස් ප්‍රමිතියකින් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි.
පාසල ප්‍රමිතියකින් තොරවීම පිළිබඳව දෙමාපියන් විදේශ අමාත්‍යංශයට පවා පැමිණිලි කර ඇතැයි තානාපතිවරයා පවසන නමුත් එවැනි පැමිණිල්ලක් පිළිබඳව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කිසිවක් සඳහන් නොකළේය.
කෙසේවෙතත්, අදාළ පාසල වැසීමේ සූදානමක් පිළිබඳ පැමිණිල්ලක් තමන්ට ද ලැබී තිබෙන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා, එම චෝදනාව පිළිබඳව පැමිණිලිකරුවන්ගෙන් සහ තානාපතිවරයාගෙන් ද කරුණු විමසා ස්වාධීන විමර්ශනයක් පවත්වන බව කියා සිටියේය.
අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව විමසා බැලීම පිණිස විශේෂ දූත පිරිසක් කටාරය වෙත පිටත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
- ආයෝජකයින්ගේ ආයෝජන අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන විගණකවරුන්ගේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සැරසේ
- ලංකා වෝල්ටයිල්ස්, ලංකා සෙරමික් මුල් පුටු ධම්මිකට
- පල්ලෙකැලේ සටනින් ශ්‍රී ලංකා පිළට ජය
- පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක්
- ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට