- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
'කුණු' මත යැපෙන රටක්
BBC Sandeshaya මිනිත්තු 23 පෙර
Image caption කසළ රැගත් දුම්රිය කිලෝමීටර 1000 දුර ගෙවා ඕස්ට්‍රියාවට ළඟා වේ
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමග සිදු වූ ඛේදවාචකය හමුවේ කසළ ප්‍රතිචක්‍රීකරණය සහ කළමනාකරණය පිළිබඳ රට තුළ සංවාදයක මතු වෙමින් පවතී.
කසළ ප්‍රතිචක්‍රීකරණය සහ කසළ අංගන වෙත බැහැර කෙරෙන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ඇතැම් ක්‍රියාධරයෝ පවසති.
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් අනතුරුව වත්මන් ආණ්ඩුවේ සහ පැවති පාලනයේ ප්‍රධානීහු ඒ පිළිබඳ විවිධ අදහස් පළ කරති.
ඒ පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 19 වෙනිදා කියා සිටියේ එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් වැළකී රජයක් ලෙස එහි වගකීම භාර ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.
මීතොටමුල්ල ඛේදවාචකයෙන් අනතුරුව පසුගිය 15 වෙනිදා මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ කසළ අර්බුදයට ස්ථීර විසඳුමක් ලබා දීමට නොහැකි වූයේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පවතින කඹ ඇදිල්ල හේතුවෙන් බවය.
කසළ ප්‍රතිචක්‍රීකරණය සහ කළමනාකරණය
කසල කළමනාකරණය කළ යුත්තේ කෙසේද?
කසළ ප්‍රතිචක්‍රීකරණය හා කසල අංගන වෙත බැහැර කෙරෙන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, සමාන්තරව සිදු විය යුතු බව කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥ සුජාතා ගමගේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
ඇයට පවසන පරිදි කසළ ප්‍රතිචක්‍රීකරණය කොටස් දෙකකට බෙදිය හැක
පොලිතින්, කාඩ්බෝඩ්, වීදුරු වැනි අපද්‍රව්‍ය ඊට අනුරූප ද්‍රව්‍යවලට පරිවර්තනය කිරීම
බල ශක්තිය, කොම්පෝස්ට් පොහොර සහ ජීව වායු වැනි වෙනස් ස්වරූපයකට පරිවර්තනය කිරීම
රෝමයේ කසළ ඕස්ට්‍රියාවට
මේ අතර වෙනත් රටක බැහැර කරනු ලබන කැලිකසළ සිය රට වෙත ගෙන ගොස් බල ශක්තිය බවට පරිවර්තනය කරන රටක් පිළිබඳ යුරෝපයෙන් වාර්තා වේ.
රටේ නිවාසවලට අවශ්‍ය බල ශක්තිය උත්පාදනය කිරීම සඳහා ඕස්ට්‍රියාව යොදා ගනු ලබන්නේ රෝමයේ බැහැර කරනු ලබන කැලිකසළය.
රෝමයේ සිට කැලිකසළ ප්‍රවාහනය කෙරෙන්නේ දුම්රිය මාර්ග ඔස්සේය.
සිය කසළ අර්බුදයට නිසි විසඳුම් ලබා දීමට රෝමය අපොහොසත් වී ඇති අතර ඕස්ට්‍රියාවේ වියානා නුවර ආසන්නයේ පිහිටි කසළ බල ශක්තිය බවට පත් කෙරෙන බලාගාරයක් සතුව අතිරේක ධාරිතාවක් පවතී.
ඒ අනුව ඇති කර ගත් ගිවිසුමකට අනුව මේ වසරේ රෝමයේ නිවාසවලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ටොන් 70,000 ක් ඉවත් කිරීම සඳහා ඉතාලිය, EVN නමැති ඕස්ට්‍රියානු සමාගමට මුදල් ගෙවනු ලබයි.
ඇල්ප්ස් කඳු වැටිය ඔස්සේ උතුරු දිග ඉතාලිය හරහා දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන අපද්‍රව්‍යවල අවසන් නැවතුම EVN ආයතනයට අයත් ඕස්ට්‍රියාවේ තාප කසළ බලාගාරයකි.
සතියකට තුන් වරක්වත් දුම්රිය ඔස්සේ කසළ ප්‍රවාහනය කෙරෙන අතර එක් දුම්රියක් තුළ ආසන්න වශයෙන් අපද්‍රව්‍ය ටොන් 700 ක්වත් අඩංගු වේ.
එලෙස ප්‍රවාහනය කෙරෙන කැලිකසළ පුළුස්සනු ලබන අතර එමගින් වාෂ්ප උත්පාදනය කරනු ලබයි.
එම වාෂ්ප අසල්වැසි බලාගාර වෙත යවනු ලබන අතර ඒවා විදුලි බලය බවට පරිවර්තනය කෙරෙයි.
ඉන් ඕස්ට්‍රියාවේ ලෝවර් පළාතේ නිවාස එක්ලක්ෂ හැත්තෑ දහසකට විදුලිය ලබා දෙයි.
රෝමයේ සිට ඕස්ට්‍රියාව දක්වා කිලෝමීටර 1000 ක දුරක් කසළ ප්‍රවාහනය කිරීමට සිදු වුවද එය, කසළ අංගන වෙත ගොඩ කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීම සඳහා යුරෝපා සංගමය විසින් ගනු ලබන උත්සාහයේ එක් කොටසකි
ඇල්ෆොන්ස් පවසන පරිදි ඔවුන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය පරිසර හිතකාමී වන අතර එහි ප්‍රධාන සාධකය කසළ දුම්රියයි.
"අනෙක් විකල්පය වන්නේ මේ කසළ අංගන වෙත ගොඩ කිරීම. එසේ කසළ ගොඩ කිරීමෙන් මීතේන් වායුව විශාල වශයෙන් මුදා හැරෙනවා" යනුවෙන් ඔහු පැවසීය.
කසල අර්බුදය හමුවේ රෝම වැසියෝ දැඩි නොසතුටට පත්ව සිටිති.
කසළ බැහැර කෙරෙන අංගන තුළ තවදුරටත් ප්‍රමාණවත් ඉඩකඩ නොමැති අතර කසල අර්බුදයට හේතුව එය පමණක්ම නොවේ.
එය දේශපාලනය හා බැඳුනු ගැටලුවකි.