- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වෙයි
BBC Sandeshaya 2017 ජූලි 11
Image copyright Getty Images
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රිකට් තේරීම් කමිටුවට වාචිකව දැනුම් දී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
පවතින තත්වය හමුවේ හෙට උදෑසන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ද වාර්තාවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක් දින තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්විය යුතු බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළවෙමින් තිබිණ.
විශේෂයෙන්ම මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හෝ ලසිත් මාලිංග නොමැතිව උපුල් තරංග ගේ නායකත්වයෙන් පසුගියදා සිම්බාබ්වේ හි සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්වුවත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද සහිත කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ දීම තරගාවලිය පරාජයවීම ක්‍රීඩාලෝලීන් ගේ දැඩි විවේචනයට ලක් වී තිබුණි.
චැම්පියන්ස් කුසලාන
Image copyright Getty Images
ඊට පෙරාතුව එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය ඇතුළු අනෙක් සියලු ආසියානු කණ්ඩායම් දෙවෙනි වටයට සුදුසුකම් ලැබූ නමුත්, පළමු වටයේදීම තරගයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුන අවස්ථාවේ ශ්‍රී ලංකාව තරග කිහිපයක් පරාජයට පත්වීම ද අවධානයට ලක් වූ අතර ඒ අවස්ථාවේ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී නැති බවය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් තීන්දු පිළිබඳව ද තමන්ගේ ප්‍රසාදයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍යවරයා බීබීසී සිංහල සේවය සමග පසුගියදා පැවැසූ අතර විශේෂයෙන්ම ග්‍රැහැම් ෆෝඩ් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් පත්කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළේය.
සමස්තයක් වශයෙන් කිසිදු ක්‍රීඩකයෙකුට ඉතා දිගු කලක් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට වර්තමානයේ හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයාගේ අදහසය.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත්ගේ නමත් එක්දින සහ විස්සයි විස්ස තරගවල නායකත්වය සඳහා උපුල් තරංගගේ නමත් යෝජනා වී තිබේ.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නැත.