- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
අනුර පුතේ උඹෙ අම්මා, අපේ කටේ පස් දැම්මා!
තාත්තා 2 ශ්‍රී 6536 පරණ ෆෝර්ඩ් එස්කොට් රථය පාර අයිනට කර නතර කරයි. පොලිස් භටයින් දෙදෙනෙක් විත් එය පරීක්ෂා කරති. මේ හොයන්නේ තුවක්කු, බෝම්බ හෝ හොරබඩු නොව හාල්ය.
“මහත්තයල වන්දනාවෙ යනව වගේ, බත් මාලුත් උයාගෙන…” එකෙක් බත් හැළිය අරී.
“ඔව් අපි මේ කොළඹ ඉඳන් උදේ පාන්දරින් නැඟිටගෙන එන ගමන්…” ඒ ආතම්මාය. ප්‍රශ්නයක් ඇසූ විට නිදාන කතාවේ පටන් කියාදීම ඇගේ සිරිතයි.
මම අමාරුවෙන් හිනාව තද කරගෙන සිටිමි. දවස් දෙක තුනකට බත් උයා ගන්නට තරම් සෑහෙන සහල් ප්‍රමාණයක් අම්මා කොතැන හෝ සඟවා ඇති බව මම දනිමි. මොවුන් එය සොයා ගනු ඇතැයි මට සිතේ. හොයා ගන්නට බැරි වුණොත් අපේ බත් හැළිය අත්පත් කර ගනු ඇත. බත් උයන්නේ හාල් වලින් නිසාය.
අසාර්ථක මෙහෙයුම අවසානයේ ඔවුහු තාත්තාට ඩිකිය වහන්නට කියති.
Read more
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: අනුර පුතේ උඹෙ අම්මා, අපේ කටේ පස් දැම්මා!
- tharanga1979
- Posts : 2
Join date : 2015-10-25
අනුර පුතේ උඹෙ අම්මා – අපේ කටේ පස් දැම්මා!
තාත්තාට තිබුණේද මේ ජාතියේම ෆෝර්ඩ් එස්කොට් එකකි. උපරිම වේගය පැයට කිලෝමීටර් 70ක් විතරය. තාත්තා එළෙව්වේ පැයට කිලෝමීටර් 30-40ක වේගයකිනි.
තාත්තා 2 ශ්‍රී 6536 පරණ ෆෝර්ඩ් එස්කොට් රථය පාර අයිනට කර නතර කරයි. පොලිස් භටයින් දෙදෙනෙක් විත් එය පරීක්ෂා කරති. මේ හොයන්නේ තුවක්කු, බෝම්බ හෝ හොරබඩු නොව හාල්ය.
“මහත්තයල වන්දනාවෙ යනව වගේ, බත් මාලුත් උයාගෙන…” එකෙක් බත් හැළිය අරී.
“ඔව් අපි මේ කොළඹ ඉඳන් උදේ පාන්දරින් නැඟිටගෙන එන ගමන්…” ඒ ආතම්මාය. ප්‍රශ්නයක් ඇසූ විට නිදාන කතාවේ පටන් කියාදීම ඇගේ සිරිතයි.
මම අමාරුවෙන් හිනාව තද කරගෙන සිටිමි. දවස් දෙක තුනකට බත් උයා ගන්නට තරම් සෑහෙන සහල් ප්‍රමාණයක් අම්මා කොතැන හෝ සඟවා ඇති බව මම දනිමි. මොවුන් එය සොයා ගනු ඇතැයි මට සිතේ. හොයා ගන්නට බැරි වුණොත් අපේ බත් හැළිය අත්පත් කර ගනු ඇත. බත් උයන්නේ හාල් වලින් නිසාය.
අසාර්ථක මෙහෙයුම අවසානයේ ඔවුහු තාත්තාට ඩිකිය වහන්නට කියති.
“නීතිය හින්ද මහත්තයො මේ බැලුවෙ. නැතුව අපි නොදන්නව නෙවි කොළඹ ඉඳළ කතරගමට හාල් ගෙනියන්න තරම් මිනිස්සු මෝඩ නැති බව.” පොලිස් භටයෙක් කසට දත් පා සිනාසෙයි.
කොළඹ සිට කතරගමට ගාළු මාතර හම්බන්තොට පාර ඔස්සේ හාල් පොලු තුනක්ද මිරිස් පොලු දෙකක්ද මම ගණන් කරමි.
අපේ පරම්පරාව නිදහස් ලංකාවේ උපත ලද අවාසනාවන්තම පරම්පාරාවයැයි මට සිතෙයි. සොඳුරු ළමා කාලයක් ලබා ගැනීමේ නිදහස් පවා සිරිමා බණ්ඩාරනායකගේ “සමාජවාදී ආණ්ඩුව” විසින් අපෙන් පැහැරගෙන ඇත්තේය. වෙන මොනවා කළත් නිදහස් ලංකාවේ අන් කිසිම ආණ්ඩුවක් ඒ තරම් අමානුෂික ලෙස පොඩි එකාගේ කිරි පිටි පැකැට්ටුවට වැට බැඳ නැත. බූමිතෙල් ගඳ නොගසන කමිසයක් අළුත් අවුරුද්දට ලබා ගැනීමේ සතුට පොඩි එවුන්ගෙන් උදුරාගෙන නැත. පාලකයින් සුර සැප විඳින ගමන් රටේ පොදු ජනතාවට බත් නැතිව බතල, මඤ්ඤොක්කා කෑමට බල කොට නැත. මේ සියල්ල කරන ගමන් “අප සමාජවාදය කරා යන්නෙමු” යි බයිලා කියා නැත.
ඉන්දියාවට ගොස් බොහෝ කාලයක් යන තුරුම මගේ මිතුරන්ට තිබූ ගැටළුවක් වූයේ මා ඇපල් කෑමට මෙපමණ රුචි මන්ද යන්නය. මම දවසට ඇපල් ගෙඩි පහ හයක් කමි. (කර්ණාටකයේ ඇපල් විකුණුවේ කිලෝ වලටය. ඕස්ට්‍රේලියන් ඇපල් තරම් රහ නැතද, නරකම නැත.) එක හේතුවක් මා දක්ෂිණ භාරතීය ආහාරවලට හැඩ ගැසෙන්නට කල් ගත වීමය. චපාති හා ඉට්ලි නොකන්නේ නම් බඩ පිරෙන්නට මොකක් හෝ බඩට දමා ගත යුතු වෙයි. දෙවැනි හේතුව මා කොහොමටත් ඇපල් කෑමට කෑදර වීමය.
කුඩා කාලයේ ඇපල් යනු අපට දිව්‍ය භෝජනයකි. ගෙදරකට ඇපල් ගෙඩියක් ලැබෙන්නේ හාවා හඳ දැක්කා සේ කලාතුරෙකිනි. (සමහර විට මේ කොළඹ වරායේ නැව් වලින් පැන්නූ ඒවා විය හැකිය.) ඇපල් ගෙඩියක් ලද විට එය කෑමට වෙනම චාරිත්‍ර වාරිත්‍ර සමුදායයක් ඇත. බෙදා හදා ගැනීම හොඳ සිරිතක් නිසා (අපේ දැඩි විරෝධය මධ්‍යයේ) අහළ පහළ සියළු කුඩාවුන්ට ආරාධනා කෙරේ. කෑදර නෙත් විසි තිස් ගණනෙකින් එදෙස බලා සිටියදී ඇපල් ගෙඩිය කැබලි අටකට, දොළහකට හෝ දහසයකට කපනු ලැබේ. එකෙකුට මේ එක පංගුවකි. ක්‍රියාදාමය එතෙකින් අවසන් නොවේ. ඉන්පසු දෙමාපියන්ට සිදු වන්නේ “අයියගෙ කෑල්ල ලොකුයි, මගේ කෑල්ල පුංචියි” ගැටළු විසඳීමටය.
සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව අපට තහනම් කළේ ඇපල් පමණක් නොවේ. මිදි, චීස්, සැමන් පමණක් නොව නයිස් හා මාරි හැරුණු විට වෙනත් සියළු බිස්කට් වර්ගද, අලියා බීම හැරුණු විට වෙනස් සියළු කාබනීකෘත බීම වර්ගද, ලක්ස්ප්‍රේ හැරුණු විට අනෙක් සියළු කිරිපිටි වර්ගද අපට තහනම්ය. අසූ ගණන් වනතුරුම මා හිතා හිටියේ ලෝකයේ ඇත්තේ Peacock පාට පැන්සල් හා හොම්රන් පැස් හුණු කූරු පමණක්ය කියාය. චීස් කියා දෙයක් නම් තියෙන බව වත් දැන ගත්තේ විවෘත ආර්ථික යුගයෙන් පසුවය.
අපට ලියන්නට ඇති පැන්සල් වල දෙවර්ගයක කූරු ඇත. එක්කෝ ඒවා දවසට දෙතුන් වර කැඩේ. නැත්නම් කටර් එකකින් හෝ බ්ලේඩ් තලයකින් උල් කරන්නට බැරි තරම් දැඩිය. ලියන විට මිනිරන් වලින් නොව ලී වලින් සාදා ඇත්තාක් සේ සිතේ. ආණ්ඩුවේ සේවකයෝ ‘ලඬ්කාණ්ඩුව’ සේ තඹ අකුරින් කොටන ලද කහ පාට පැන්සල් වලින් ලියති. මේ පැන්සල් නම් අපූරුයි. ප්‍රශ්නය ඒවා බත්තරමුල්ලට තිබුණු එකම පොත්හළ වූ සාලින්දි පොත්හළේ විකිණීමට නැති එකයි. තාත්තා නම් වැරදිලා වත් එවැන්නක් ගෙදර ගෙන නො එයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කළ බාප්පා සමහර විට පැන්සල් දුසිමක් අයියාටත් මටත් අළුත් අවුරුද්දට තෑගි දෙයි. අපි ‘ලඬ්කාණ්ඩුව’ බ්ලේඩ් තලයකින් සූරා ඒවා පාවිච්චි කරමු. ඊළඟ ගැටළුව මේවා දැකපු ගමන් ටීචර්ලාත් ඒවා ඉල්ලන්නට පටන් ගැනීමයි. ටීචර්ලා නිසා නොදීත් බැරිය. අපටත් තියෙන්නේ සීමිත ප්‍රමාණයක් නිසා දීලාත් බැරිය. ශ්‍රී ලංකා ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමිය අප පත් කරන්නේ සුළු පටු අපහසුතාවයන්ට නොවේ.
එතුමිය ඒ මදිවාට 1972දී අප පිහිටවූයේය කියන ජනරජය වෙනුවෙන් කවි, ගීත, කෙටිකතා, නිර්මාණ තරග වසරක් පාසා පවත්වයි. එකේ පන්තියේදී මටත් මේ තරගයට සහභාගි වන්නට ලැබුණේය. මගේ මිතුරන් දෙමාපියන්ගේ සාහාය ලැබ ලස්සන කවි ලියාගෙන ඇවිත් තිබුණේය. නිර්මාණ කටයුත්තකට කවදාවත් වෙන කෙනෙකුගෙන් සහායක් ලබන්නට අකැමැති මම තනිව ජනරජ-ගීතයක් ලිවීමි. ඒ මෙසේය.
ජනරජයයි
ජනරජයයි
මැයි විසි දෙක
ජනරජයයි
සත් හැවිරිදි මගේ ජනරජ-ගීතය බොල් වුවත්, බණ්ඩාරනායක නෝනාගේ ජනතාවාදී, සමාජවාදී, චීනවාදී ආණ්ඩුවේ හෙන්චයියන් ලියන “දේශාභිමානී” ගීත වලට වඩා නම් හොඳය. මේ පසුව කියූ ගීත හැමදාම උදෑසන 6.15ට “හුළං විදුලි සේවයේ” (මා නොව ඒ කාලයේ විපක්ෂය දැමූ නමකි.) සිංහල පළමුවැනි සේවයේ “අරුණ කිරණ” තුළින් අපට අසන්නට සලස්වනු ලැබේ.
අරුණ කිරණ සැලී සැලී
හෙළ දෙරණම පණ පෙවී
නැඟෙන දැයට දිරි දිදී
පිබිදෙව් පිබිදෙව් හෙළ දරුවනේ
නැඟිටිව් නැඟිටිව් හෙළ දරුවනේ
දෙමව්පියන් තමන් මුහුණ දුන් ඇබැද්දි අපෙන් සැඟවූ හෙයින් සංවෘත ආර්ථික ක්‍රමයක් යටතේ රටේ පොදු ජනතාව මුහුණ දෙන ගැටළු මා බොහෝ විට දැන ගත්තේ අත් දැකීමෙන් නොව පුවත්පත් වල කාටූන් මඟිනි.
සතුට පත්තරයේ කැමිලස්ගේ ‘ගජමෑන්’ අවුරුදු උත්සවයක පිහිණුම් තරගයට සහභාගි වන්නේ අමුඩයක් ඇඳගෙනය. ටික වේලාවකින් තරගයේ ඉදිරියෙන්ම පීනන්නේ ඔහුය. එහෙත් හදිසියේම ගජමෑන් අනෙක් පැත්ත හැරී යටි ගං පිහිනන්නට පටන් ගනී. ඒ ඇයි දැයි අසන නිවේදකයාට ඔහු මෙසේ පිළිතුරු දෙයි. “පීනුම් තරගෙ දින්නා වගේ නෙවෙයි. අමුඩෙ වතුරෙ ගහගෙන ගියොත් සලාකෙට ඊළඟට රෙදි දෙනකල් මට ඉන්න වෙන්නෙ වතුරෙ!”
දොං සේතං බයිසිකලයට ටයරයක් මිළට ගන්නට යයි. එහිදී ඇතිවන දෙබස මෙසේය.
දොං සේතං: මුදලාලි මට සයිකලේට ටයර් එකක් ඕනැ.
මුදලාලි: කෝ මහත්තය පාවිච්චි කරපු ටයර් එක ගෙනාවද?
දොං සේතං: අනේ නෑනෙ
මුදලාලි: එහෙනං මට අළුතින් එකක් දෙන්න බෑ
දොං සේතං: මුදලාලි මම ජනතා කොමිටියෙ
මුදලාලි: හි හි විහිළුවක්වත් තේරෙන්නේ නෑනෙ මහත්තයට. එකක්ද දෙකක්ද ඕනැ?
අම්මා මට බොරැල්ලේ J. S. Fernando එක ඉස්සරහ පදික වේදිකාවෙන් ටී-ෂර්ට් මිළට ගන්නේ (මතක හැටියට) රුපියල් 3.50ටය. මේවා ස්වභාවයෙන්ම බූමිතෙල් ගඳය. බැනියමක් නැතිව ඇන්දොත් ගෙදර යන විට කමිසයේ පාට ඇඟේය.
සිරිමා බණ්ඩාරනායක රජ සමයේ පොදු ජනතාව විඳි දුක් ගැහැට ඉතා සාර්ථක ලෙස චිත්‍රණය කරන නිර්මාණයක් නම් මනුකා විජේසිංහගේ Monsoons & Potholes ය. (ඇය මා හා සම වයස්ය සිතමි.) අඩ-චරිතාපදානයක් වන මෙහි කතා නායිකාව පාසලට ගෙන යන්නේ චීස්, බටර් හෝ ජෑම් තැවරූ සැන්ඩ්විචස් නොව (ඇගේම වචනයෙන් කිව්වොත්) ‘මුකුණුවැන්න සැන්ඩ්විචස්’ය. මීට සමාන අත්දැකීම් මටද වේ. වෙනස මුකුණුවැන්න වෙනුවට ‘පොල් සම්බෝල’ ආදේශ වීමයි.
මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියකු වූ තාත්තා සමහර දින වලට මා ඉස්කෝලේ එක්ක නොයන්නේ “දවල්ට එක්කගෙන එන්න බැහැ” කියමිනි. මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා තාත්තලා කොහෝදෝ හිස් ඉඩමක බෝතල් කටු ඇහිඳ එකතු කර පිරිසිදු කරන්නට යවලාය. ඉඳහිටවත් වෙනදා කම්කරුවන් කරන මෙවැනි කාර්යයන් කිරීම නිලධරයන්ගේ මාන්නය බස්සන්නට හොඳ බව එතුමා කල්පනා කරයි.
වයස ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම කෙනෙකුට මාසයකට පරිභෝජනය සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය රාත්තලක් බව ‘ලඬ්කාණ්ඩුව’ නිගමනය කොට ඇත. සත හැත්තෑදෙකට මේ රාත්තල ලබා දෙන්නේ සමූපාකාරයෙනි. දිළින්දෝ හකුරු සමඟ තේ බොමින් තම සීනි රාත්තල රුපියල් දොළහයි පණහට කළු කඩේට විකුණති. හකුරු සමඟ තේ බොන්නට බැරිය කියමින් අඬන මා වෙනුවෙන් අම්මා ගේන්නේ මේ දොළහයි පනහේ සීනිය.
1970-77 සමාජවාදයේ බිහිසුණුම ප්‍රතිඵල මේ කිසිවක් නොව රටේ දැවැන්ත රැකියා හිඟයක් ඇති වීමය. පෞද්ගලික අංශයේ කිසිම ප්‍රවර්ධනයක් නොවන නිසා එහි රැකියා ජනනය වීමක් නොවේ. ඉතිරිවන රාජ්‍ය අංශයේ රැකියා අතළොස්සට දහස් දසදහස් ගණන් තරග වදිති. උපාධිධරයෝ රැකියා නැතිව තැපැල් කන්තෝරු වලට ගැසට් පත්‍ර බැලීමට රොක්වෙති. තරුණ අසහනය එහි කූටප්‍රාප්තියට ළඟාවී තිබේ. (වසන්ත ඔබේසේකරගේ ‘වල්මත් වූවෝ’ හා ධර්මසේන පතිරාජයේ ‘අහස් ගව්ව’ මේ තරුණ අසහනයේ සිනමාත්මක ප්‍රතිනිර්මාණය.) රැකියා හිඟය අන් කවරකුටත් වඩා හොඳින් දේශපාලකයින්ට හා නිලධරයන්ට සුරතුරක් මවා දී තිබේ. මා දන්නා තරමින් මහා පරිමාණයෙන් රකියාවක් ලබා ගැනීම හා රැකියාවේ උසස් වීම් පිණිස ලිංගිකානුග්‍රහ හුවමාරු වන්නේ මේ කාලයේදීය. ශිල්ප සඳහා ලැබූ සහතික – හදේ ගින්නෙන් දවමි තොප ළඟ – මුදල අගයන තොපේ ලොවකට – උගත්කම් ගුණ දහම් කුමටද?
සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව කරදරකාරී පමණක් නොව මෝඩ ආණ්ඩුවක්ද වේ. මේ ඒ කාලයේ අතිශයින් ජනප්‍රිය ගීතයකි. ගායකයා අමතකයි.
කාගෙද ගොං වස්සා – මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා – පවරා දෙමි වස්සා
දවසක් බලන කොට මේ ගීතය තහනම් කරලාය! හේතුව අග්‍රාමාත්‍යතුමියගේ පුත් රුවනට යූ. ඇන්. පී. කාරයින් “ගොං වස්සා” කීමට පටන් ගෙන තිබීමය!
සත් වසක් තිස්සේ අප පෙලූ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ අවසානයද මම දෑහින් දැක ඇත්තෙමි. 1977 ඓතිහාසික යූ. ඇන්.පී. මැයි පළපාලිය මා දකින්නේ යුනියන් පෙදෙසේ එවක එම්පයර් සිනමා ශාලාවට විරුද්ධ පැත්තේ පාරේ නවතා ඇති ෆෝර්ඩ් එස්කොට් එකේ වහලයට නැඟ ගෙනය. කෙළවරක් නැතිව මූද ගොඩ ගලන්නාක් මෙන් ඇදුණු මේ පෙළපාලියේ හයියෙන්ම ඇසුණු සටන් පාඨයක් මෙසේය.
“අනුර පුතේ උඹෙ අම්මා – අපේ කටේ පස් දැම්මා!”
ජේ. ආර්. බොහෝ වැරදි කළ බව ඇත්තය. එහෙත් ආර්ථික ලිබරලීකරණය තුළින් අප “සමාජවාදයේ” සාපයෙන් මුදා ගැනීම ගැන නම් අපේ පරම්පරාවේ සියල්ලන් ඔහුගේ පින්තූරයක් බිත්තියේ එල්ලාගෙන උදේ හවා මල් පහන් පත්තු කළත් වැරදි නැති බව මගේ හැඟීමය.
- Expert
- Posts : 136
Join date : 2014-03-03
Re: අනුර පුතේ උඹෙ අම්මා, අපේ කටේ පස් දැම්මා!
පුදුමයි පෝලිම් ගැන නොලියවුණු එක, පාන්, භූමිතෙල්, ආදිය මිලදී ගැනීමට.
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44