- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ගංවතුර සහ නාය යාම්: සබරගමුවේ සිසුන් දාසය දෙනෙකුට දිවි අහිමි වෙයි
BBC Sandeshaya පැයකට පෙර
Image caption මරණයට පත් පාසල් ළමුන්ගෙන් දහ දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයට අයත් නිවිතිගල කිරිබත්ගල කන්දේ සිදු වූ නාය යාමට හසු වූ 'කුරහන' ගමේ දරුවන්ය
අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාව අවතැන් වී සිටිති.
ගංවතුර සහ නාය යාම්වලට හසුව රත්නපුර දිස්ත්‍රික්කයේ 77 දෙනෙකු මරණයට පත්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය මාලනී ලොකුපෝතාගම පවසයි.
තවත් 28 දෙනෙකු අතුරුදහන් වී සිටින බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මේ අතර නාය යාම් හේතුවෙන් සබරගමු පළාතේ පාසල් ළමුන් 16 දෙනෙකුගේ ජිවිත අහිමිව ඇති බව එම පළාතේ අධ්‍යාපන ඇමති භාණු මුණිප්‍රිය පැවසීය.
මරණයට පත් පාසල් ළමුන්ගෙන් දහදෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයට අයත් නිවිතිගල කිරිබත්ගල කන්දේ සිදු වූ නාය යාමට හසු වූ 'කුරහන' ගමේ දරුවන්ය.
නිල වාර්තාවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කය තුළ 112,928 දෙනෙකු ආපදා තත්වයට මුහුණ දී ඇති අතර ග්‍රාම සේවා නිලධාරි වසම් 574 න් 325 ට ගංවතුර සහ නායයාම් තර්ජනය බලපා තිබේ.
ආපදාවට ලක් වූවන් අතරින් 38,323 දෙනෙකු අවතැන් කඳවුරු169 ක රඳවා සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය පවසයි.
නිල වාර්තාවලට අනුව සබරගමු පළාතේ පාසල් 48 ක් ගංවතුරට හසුව හානියට පත්ව ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ හානිවු පාසල් ගණන 40කි.
Image caption රත්නපුරයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
අවතැන් වූ ජනතාව සම්බන්ධයෙන් සිදු කෙරෙන සහන මෙහෙයුම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳුදා (මැයි 29) පෙරවරුවේ රත්නපුරයේ සංචාරයක නිරත විය.
පොත්පත් සහ නිල ඇදුම් අහිමි වූ පාසල් ළමුන් සඳහා සබරගමු පළාත් සභාවේ වියදමින් අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දුණි.
ආර්ථික වශයෙන් ස්ථාවරයකට පැමිණෙන තෙක් විපතට සහ හානියට පත් පවුල් සඳහා මාස කිහිපයක් සහනාධාර ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරියට නියම කළේ ය.
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමේ දී බොහෝ රාජ්‍ය නිලධාරියන් කියා සිටියේ අවතැන්වුවන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවය.
එහෙත් පළාතේ දේශපාලනඥයන් කියා සිටියේ නළ ජල සැපයුම සහ විදුලිය සැපයීම නිසි පරිදි සිදු නොවන බවය.
නිල වාර්තාවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 65,500 කට විදුලිය නොමැත.