- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට
BBC Sandeshaya පැය 3 කට පෙර
රට පුරා බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ නාය යාම්වලට හසු වූ 91 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර තවත් 110 දෙනෙකු අතුරුදහන්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් 53,000 ක පිරිසක් අවතැන් වී සිතන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවයට පැවසීය.
මේ වනවිට පවුල් 2811 ට අයත් 7856 දෙනෙකුට අයහපත් කාලගුණ තත්ත්වය බලපා තිබෙන බවත් බලධාරීහු පවසති.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.
රත්නපුර නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙන අතර, මියගිය, අවතැන් වූ සහ හානියට පත් නිවාස සහ දේපල සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබාගැනීම පවා අපහසුව තිබෙන බව රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම බීබීසී සිංහල සේවයට පැවසීය.
Image caption ගංවතුරෙන් යට වුණු රත්නපුර නගරය
නිවිතිගල, කලවාන සහ ඇහැලියගොඩ ප්‍රදේශවල නායයාම් හේතුවෙන් මරණ වාර්තා වී ඇති අතර නිවාස තිහකට ආසන්න සංඛ්‍යාවක් නායයාම් නිසා හානියට පත්ව තිබේ.
අවතැන් වූ පිරිස් සඳහා සහන සැලසීමේ දී පවතින අයහපත් කාලගුණ තත්ත්වය එයට ප්‍රබල බාධාවක් බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වර්ෂාපතනය ද වැඩිපුරම වාර්තා වී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රිකයෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සිකුරාදා (මැයි 26) දහවල් 12.00 වනවිට කළු ගඟේ ජල මට්ටම මීටර් දහය ඉක්ම වූ බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එස්එච් මුදිත මංජුල පැවසීය.
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගය ද, රත්නපුර ඇඹිලිපිටිය මාර්ගය ද, වෙනත් අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවීමෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී තිබේ. ජලයෙන් යටවූ ඇතැම් නිවාස වල කොටු වූ ජනයා නිවාසවල වහල මත නැගී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පැවසීය.
කොටු වූ සහ අනාරක්ෂිත පුද්ගලයන් පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා ආධාර ඉල්ලා ඇතත් ඔවුන්ට පිහිට වීමට ප්‍රමාණවත් නිලධාරීන් සහ බෝට්ටු ආදී පහසුකම් නැති බව උසස් පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
කළුතර සහ ගාල්ල
කළුතර දිස්ත්‍රික්කයේ නවදෙනෙකු මියගොස් ඇති අතර, මේ වනවිට දොළොස් දෙනෙක් අතුරුදහන්ව සිටිති.
කළුතර දිස්ත්‍රික්කයේ පවුල් නවයකට අයත් 36 දෙනෙකු ගංවතුර සහ නාය යාම් හේතුවෙන් ආපදාවට ලක් වී සිටිති.
මරණ සංඛ්‍යාව අඩු වුවත් ගංවතුර සහ නාය යාම් වැඩිම පිරිසකට බලපා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේය.
කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හා නායයාම්
පවුල් 1866 කට අයත් 7157 දෙනෙකුට අයහපත් කාලගුණ තත්වය බලපා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉදිරි පැය 24 ඇතුළත ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, උඩුගම සහ ඇල්පිටිය ප්‍රදේශවල මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
රට පුරා සියලු ප්‍රදේශවල නිවාස ඇතුළු දේපොළ හානි සහ කොතරම් පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගියේද යන්න පිළිබඳව මෙතෙක් සවිස්තර වාර්තා ලැබී නැත.
මේ අතර මහජනතාවගේ ආරක්ෂාව සඳහා අවදානම් සහිත ස්ථානවල විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
හම්බන්තොට
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් පවුල් 1889 ක් අවතැන් වී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිවුඑච් කරුණාරත්න පවසයි.
එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු පාසල් වෑන් රථයෙන් බැස නිවසට යමින් සිටිය දී ජල ගැල්මට හසු වී මිය ගොස් ඇති අතර ජල ගැල්මෙන් බේරීම සඳහා දුරකථන රැහැනක් දිගේ එමින් සිටි පුද්ගලයෙක් ජලයට වැටී මියගොස් තිබේ.
ජල ගැල්මට හසුවූ නිවාස 87 කට පුර්ණ හානි සිදු වී තිබෙන බවත් ජලයෙන් යටවූ අනෙක් නිවාස පිළිබඳව සංගණනයක් සිදුකරන බවත් හම්බන්තොට ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක යූඑල්ආර්එස් ගුණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.
නොකඩවා ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් කැකිරිඕබඩ ජලාශයේ ජලය පිටකිරීම සිදුවන බැවින් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බෙලිඅත්ත, කහවත්ත, නතුවල, අරන්වල, කැකිරිඕබඩ යන ග්‍රාම නිලධාරි වසම් හතරක වෙසෙන ජනතාවට එම ප්‍රදේශයන්ගෙන් ඉවත් වන ලෙස නියෝග කර තිබෙන බවද ඔහු පැවසීය.
කටුවන ඌරුබොකු ඔයේ ජල මට්ටම වැඩි වීම හේතුවෙන් කටුවන නගරයේ නිවාස සහ වෙළෙඳ සල් කීපයක් ජලයෙන් යටවී විශාල දේපල හානියක් සිදු වී තිබේ.
'මහා ගංවතුර තත්වයක්'
සිංහරාජය, නෙළුව, තවලම, හිනිදුම, මොරවක, ගාල්ල, මාතර, රත්නපුරය සහ කෑගල්ල ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ, ගිං ගඟ, පොල්අතුමෝදර, බෙන්තර ගඟ, මාදු ගඟ, කළු ගඟ සහ කැළණි ගඟ පිටාර ගලා තිබේ.
ඒ අතරින් නිල්වලා ගඟ, ගිං ගඟ, බෙන්තර ගඟ, කළු ගඟ සහ කැළණි ගඟ මහා ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
විපතට පත්වූවන් බේරාගැනීම පිණිස ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා හතරක් සහ නාවික හමුදාවේ ඩිංගි බෝට්ටු 21ක් යොදවා ඇති අතර, යුද හමුදා සෙබළුන් 300ක් ද එයට එක්ව සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී. ගංවතුර වැඩිම පිරිසකට බලපා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේය
දිවා කාලයේ වර්ෂාව තරමක් අඩු වුවත්, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පලාත්වල සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා මුහුදු තීරයේ සුළං වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා රළු විය හැකි බවටද අනතුරු අඟවා තිබේ.
කැළණි ගඟේ ජල මට්ටමත් වේගයෙන් ඉහළ යමින් පවතින අතර වහාම ආරක්‍ෂිත ස්ථාන වෙත ඉවත්ව යන මෙන් ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකාව මීට ඉහතදී මෙවැනි ගංවතුරකට මුහුණ දුන්නේ 2003 දී බව වාර්තාකරුවෝ පවසති.