- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ද අන්දරේ: කදුරු ඇට පවත
පිටපත: Tharaka Eranda Caldera
'මෙහෙ වර අන්ද්‍රෙයි' අන්දරේ ආත බූත කඩාගෙන පරක්කු වෙලා වැඩට එනව දැක්කම රජ්ජුරුවො ඇඟට කඩා පැන්නෙ මහප්‍රාණෙන්. 'මොකද තෝ පරක්කු?'
'පස්වාන් දහසකට බුදු වෙන්ඩෝන රජ්ජුරුවන්නාන්ස' අන්දරේ බිම බදාගෙන කිව්ව. 'ට්‍රැෆික් අප්ප හොඳට ම. අර බාල චීන අස්පයි එක්ක බෑ, උන් මුකුළු කර කර පාර දිගේ පෙම් කෙළ කෙළ නැට්ට කරකෝ කරකෝ එනකොට වෙලාව හරි. අපේ හෙළ අස්පයිල නම් නැට්ට උස්සල පොඩ්ඩක් කුචි කැව්වම ගාල කඩාගෙන දුවනව, ඒත් මේ බාල චීන අස්පයි කුචි කවනකොට බිම පෙරළි පෙරළි හිනාවෙනවා. පස්වාන් දහසකට බුදුවෙන්ඩෝන ... ඔළුවෙත් එක්ක වැළි .. මේං'
'අධිකාරම මේකගෙ ලීව් වලින් හාෆ් ඩේ එකක් කපහන්' කියපු රජ්ජුරුවො ලස්සන හැඩේකට පට සළුව ගසල රජවාසලෙන් එළියට බැස්ස. අන්දරෙත් මූණ අකුලෝගෙන අධිකාරම දිහා නොබලම රජ්ජුරුවො පස්සෙන් වැටුණ, 'පස්වාන්දහසකට බුදු වෙන්ඩෝන, ඔබ වහන්සේව හිනස්සන්න ද?' රජාට අම්බානක මළ පැන ඇති බව දන්නා අන්දරේ පරක්කුවෙලා හරි වැඩ පටන්ගන්න අරමුණෙන් ඇහුවා.
'නෑ ඕන් නෑ.' රජ්ජුරුවන්නාන්සේ කිව්වා. 'මං වෙන කවුරුහරි හොයාගන්නම්'
අන්දරෙත් කුක්කා වගේ පස්සෙන් ඇදෙනව, ජොබ් එක ගහල ගියොත් බින්න බැහැපු ගෙදරත් නෑ හිටපු ගෙදරත් නෑ කියල මනුස්සය දන්නව. ෂේප්මන්ට් එකක් දාන්න චෑන්ස් එකක් එනකම් අන්දරෙගෙ වෘත්තිය අනතුරේ.
රජා උදෑසන සිරි නරඹමින් යන්නෙ රාජකීය වෘෂභරාජ ගාල දිහාවට. අන්දරේ දැන් වෘෂභරාජයො ගැන තියෙන විහිළු ඔක්කොම මතක් කරගත්ත, වෙලාව ආපු ගමන් හොඳම එක අතාරින්න ඕන, රජ්ජුරුවන්ට බකස් ගාල හිනා යන්න, අන්දරේ ප්ලෑන් කලේ එහෙම.
කොල්ලෙක් ග්‍රැමපෝන් එකේ ඒරියල් එක කරකල රජ්ජුරුවො කැමතිම කරත්ත ගීත චැනල් එකට දැම්ම ... ඔන්න සිංදුවක් යනව ... හඳයෝ හැමදා අ අ ආ ... උඹ පණ සේ ම රැකගන්නම්ම්ම්ම්ම් ... හඳයෝඕඕඕ ... රජ්ජුරුවොත් තාලෙට උරුවම් බබා පුරුදු විදියට ම වෘෂභයින්ගෙ ආහාර රුචිය වැඩි කරන්න දෙන ජීවම් කරපු කදුරු ඇට අහුරක් අරගෙන එක එක වීසි කරන්න පටන් ගත්තා ගාල දිහාවට ... වෘෂභයෝ වලිගෙ වන වන අහසට පැන පැන ඒව ඇල්ලුව ... තව තව ඉල්ල ඉල්ල උම්බෑ කියන්න ගත්ත ... අන්දරේට ඔන්න නුවණ පහල උනා ...
'පස්වාන් දහසකට බුදුවෙන්ඩ මටත් එකක් ඕනේ' අන්දරේ මැදට පැනල උඩ පැන පැන බෙරිහන් දෙන්න ගත්ත ...
'බෑ' රජ්ජුරුවන්නාන්සෙ කිව්ව. 'මෙව්ව ජීවං කොලේ තොපි වගේ කෑඳැත්තන්ට දෙන්න නෙවෙයි'
'ඕනෙම යි. ඕනෙමයි' අන්දරේ උඩ පනිනව. 'කාලම නෑ ඔව්ව. අම්මප අද කෑවේ නැත්තන් ආයෙ බලෙන් කැව්වත් කන්නෑ ඕං'
රජ්ජුරුවන්නාන්සේ තමන්ගෙ බොඩිගාඩ් නිළමෙට ආඥාවක් නිකුත් කලා. 'මෙන්න මූව එළවහං. මගේ හරක් ටිකත් බය වෙනව මුගෙ කෝලං දැකල'
බොඩිගාඩ් නිළමෙ පාත් උනේ යකා වගේ, අන්දරේගේ Jockey අමුඩෙ වාටියෙන් අල්ලගත්ත නිළමෙ අන්දරේ ව උඩ විසි කලා ... 'පැත්ත පළාතෙ පස් පාගන්නෑ වල් පරය තෝ ආයෙ' එන්න එහෙමත් කිව්වා.
අන්දරේ දැන් උඩ ... රජ්ජුරුවන්නාන්සෙ කිරිහාමි කියල හංවඩු ගහපු වෘෂභයට වීසි කරපු ජීවං කරපු ආහාර රුචිය වඩවන කදුරු ඇටෙත් අහසෙ ... මේක ස්ලෝමෝෂන් ජවනිකාවක් ලෙස හිතේ මවා ගැනීම යෙහෙකි යැයි පසුව පවසා තිබුණේ රජතුමාගේ චරිත කතා රචක, වික්ටර් අයිවන් නිළමෙතුමා.
රජ්ජුරුවන්වහන්සේ හිනා ගැස්සවීමේ අරමුණෙන් සිටි අන්දරේට තව තත්පර දශම ගාණකුත් වියත් එක හමාරක විතර දුරකුත් විතරයි තරණය කරන්න ඉතුරුවෙලා තිබුණෙ. කොහොමහරි බෙල්ල දික් කරපු අන්දරේ අහස මැදදිම කදුරු ගෙඩිය ගිල්ල බුග් ගාල. ස්ලෝමෝෂන් ජවනිකාව එතැනින් අවසන් උන අතර අන්දරේ ඊළඟ මොහොතෙ දොඃ ගාල බිම හිටියා.
අන්දරේ රජ්ජුරුවො දිහා බැලුවෙ ඒකට රජ්ජුරුවන්ට හිනා ගියා ද බලන්න. ඒත් රජ්ජුවො හිටියෙ ඉන්නල ගිලපු උගඩුවා වගේ ඔරවගෙන, අන්දරේට ගොක්කොල හට්ටි, ගොක්කොල පෙට්ටි, ගොක්කොල හැඹිලි වගේ ගොඩක් ගොක්කොල නිර්මාණ පේන්න ගත්ත එක පාරම.
'ගෙනෙං උයනගෙයි පොල් උල' රජ්ජුරුවන්වහන්සේ ගිගිරුවා. 'උල තියපං මේ බකමූණ ව'
අන්දරේ දෙයියො බුදුන් සිහිකරගෙන පොල් උල ගේනකන් බිම වාඩිවෙලා වැල්ලෙ ලියන්න ගත්ත අන්තිම කැමති පත්‍රය ... ඔහු තමාගේ විහිළු එන්සයික්ලෝපීඩියා එක ගමේ පන්සලේ පොත් ගුලට ඇර ඕනෑ ම කූඹි ගුලකට පරිත්‍යාග කරන්න කියල ලිව්ව විතරයි මෙන්න ගෘහස්ත සාම නියෝජිත නිළමෙ මරහඬ තලාගෙන දුවගෙන ආව ...
'අනේ පස්වාන්දහසකට බුදුවෙන්ඩෝන මයෙ රාජෝත්තමයාණන්වහන්ස අගබිසවුන්නාන්සෙයි වැඩබලන අගබිසවුන්නාන්සෙයි කෙළ ගන්නව අන්න නාන තොටේ බාත් ටබ් එකේ, කොසු වලිනුයි හැඳි වලිනුයි බේසම් වලිනුයි තවත් පතෝල කරල් වගේ ජාතියකිනුයි... වැඩබලන බිසව්ගෙ ගංගානම් සඳුන් කල්ක ෆේස් වොෂ් එකකට කවුදෝ වලස් තෙල් බිංදුවක් දාල ලුු ... අන්තඃපුරේ ගෑණු ළමිස්සියො අඬනව හූ තිය තිය ... මේ නාකි මං බලන් ඉන්නෙ කොහොම ද මේ වගෙ වින්නැහියක් ... අනේ වඩින්ඩ රජතුමනි, රාජකීය කුණුහරපයකින් බිසවුන්නාන්සේලාට යහමින් ඉවසා වදාරන්ඩ රජතුමනි ඉක්මනට...
රජ්ජුරුවෝ පට සළුව කැහැපොට ගහගෙන දුවන්න ගත්ත .. 'වර යන්න මගෙත් එක්ක' රජ්ජුරුවෝ කෝකටත් කියල බොඩිගාඩ් නිළමේවත් ඇදගෙන ගියා ... 'මගේ වෙඩි නොවදින කබාය ගෙනෙව' ඔහු වෝර්ඩෝබ් නිළමෙටත් පණිවිඩයක් යැව්ව ...
'අන්තඃපුරේ ආසම අලිගෙදර ස්ට්‍රෝබෙරි අයිස් පලම් හත්සීයක් ඕඩර් කරව, කැරලි මර්ධන ඒකකය සූදානම් සරීරෙන් තියව' ආරක්ෂක ලේකම් නිළමෙ දුවනව අනිත් පැත්තට ...
අන්දරේ නැගිට්ට දුන්න වගේ. මරණ දඬුවම කැන්සල් ය, පොල් උල ගෙනාවෙ මක්කට ද කියා රජ්ජුරුවන්වහන්සේ හදිසියේ හෝ මතක් වී ඇසුවහොත් එය ගෙනාවේ දේවින්නාන්සේලාගේ ඇන්තූරියම් පාත්ති සඳහා පොල් ලෙලි ගසන්නට බව කිව හැක.
වෘෂභරාජ ගාල පැත්තෙ දැන් කවුරුත් නෑ. අන්දරේ හොඳට වැට උඩ දිගෑදිල කකුල් දෙක පද්ද පද්ද ඉන්නව ... මෙන්න මනුස්සයට එනව සද්දන්ත බඩගින්නක් .. බඩ ගුරු ගුරු ගාන්නේ මොකැයි ... අන්දරේ කල්පනා කරනව, අස්පය පිට එන ගමන් යව සහල් සැන්ඩ්විච් එකකුත් කෑව කියල මතකයි ... අමුතු බඩගින්නක් ...
ඔන්න ඔය අස්සෙ ඉන්ඩියන් ඒලෙවල් විභාගෙ ලියල ප්‍රතිඵල එනකම් රජගෙදරට වෙලා ඉන්න රාජකුමාරි එනව චූටි තණකොළ මිටියකුත් ඉනේ තියාගෙන. කුමාරිගෙන් අන්දරේට ඒ හැටි කරදරයක් නැති නිසා අන්දරේ කුමාරිව දැක්කෙ නෑ වගේ හිටියා. කුමාරි එයාගෙ සුරතල් වහු පැටිය හොයනව ...
'රත්තිහාමි බබෝ ඔයා කොහෙ ද' කුමාරි කතා කරනව ... 'මං ඔයාට බයි ගෙනාව පැටියෝ ... '
කුමාරි අන්දරේව දැක්ක, පොඩ්ඩක් හිනා වුණා ... කම්මුල පොඩ්ඩක් විතර වල ගැහුණ .. අන්දරේ ඉතින් පොඩ්ඩක් විතර ගෞරවක් පෙන්නල නිකම් හිටිය... මේකි ගස්ස ගස්ස ගල් උඩින් පැන පැන එනව ...
'අන්ද්‍රේ මාමි කෝම ද? ගුඩ් මෝනින්' කුමාරි කියනව ... එහෙම කියන ගමන් තණකොළ මිටිය ගත්ත ඉණේ අනිත් පැත්තට ...'මගේ රත්තිහාමි හොර ගෙඩිය දිව්ව ද මේ පැත්තෙන් ...?' කුමාරි අන්දරේගෙන් උත්තර නැති නිසා තවත් ප්‍රශ්නයක් ඇහුව ... අන්දරේට මාර බඩගිනියි ... මේ හදිසියෙම ? ... අන්දරේ කල්පනා කරනව ...
'අන්ද්‍රේ මාමි උයා මා එක්ක තරහ ද' කුමාරි ළඟට ම ඇවිත් ඇහුවෙ අන්දරේගෙන් උත්තර නැති හින්ද ... අන්දරේ දැක්ක රෝස පාට සේද රෙදි පටියකින් ගැට ගහපු තණකොළ මිටිය ... මනුස්සයට එකපාර ම කවි සිතුවිලි පහල වෙන්න ගත්ත ...
සුහුඹුල් තණේ බර තනියම දරාගෙන
නොනටනු පිණිස රෙදි පටකින් ඔතාගෙන
ගියත් නොදී වස්සන් හට අහක යන
මට විතරක් දීපං ඔය නැවුම් තණ
අන්දරේට මතකයි රාජකුමාරි ගල් ගැහිල වගේ බලාගෙන ඉන්න දර්ශනයක් ... ඊළඟට ජම්ප් කට් උනේ කුමාරි එයාගෙ රත්තරං සෙල්ලම් කඩුව අරන් අහසින් වඩින දර්ශනයකට ... ඊටත් පස්සෙ අන්දරේට දැනුණා වැලක් වේලෙන්න දාල තියෙන අමුඩ ලේන්සුවක් වගේ වැටේ එල්ලිල ඉන්න ගතියක් ... ලෝකෙම අඳුරුවෙලා යන්න කලින් මනුස්සය දැඩි ලෙස හිතාගත්ත නැවත කිසිදාක හරකුන්ගේ ආහාර රුචිය වර්ධනය කිරීම සඳහා දෙනු ලබන ජීවම් කරපු කදුරු ඇට බැමිණිටියා සායවල් හතක් ආවත් කටේ තබන්නේ නැති බව ... ඒ විතරක් නෙවෙයි, කදුරුවෙල පදිංචිවෙලා ඉන්න අන්දරේගේ මහප්පල මැරුණාක් ලෙස මින් මතුවට සලකන බවත් ඔහු සපථ කරගත්ත ...
අන්දරේට සිහිය එනකොටත් එයා හිටියෙ වැටේ එල්ලිලමයි ... කනපිට වැටිච්ච ලෝකෙ බොඳ වෙච්ච රූප රාමු අතරෙ අන්දරේට පේනව රජ්ජුරුවො කුමාරිකාවගෙ අතින් අල්ලන් උපදෙස් දෙනවා ... 'අනේ පව් දුව ... අන්ද්‍රේ මාමිට ගහන්න එපා ...' ඒත් ඊළඟ මොහෙතෙ දී කුමාරි ආයෙත් අහස දෙබෑ කරගෙන අන්දරේ කරා එනව අන්දරේට මතකයි ...
අන්දරේට ඊළඟට සිහිය එනකොට හිටියෙ ගෙදර ... ඇස් ඇරල හෙමීට වටපිට බලනකොට අන්දරේගෙ හාමිනේ ඉන්නව විස්සෝපයෙන් මූණ දික් කරගෙන ... අන්දරේ ආදරෙන් හිනාවක් දැම්ම ... ඒත් එක්ක ම මිරිස් අඹරණ ගල්වංගෙඩියෙ මෝල් ගහ පොකුරු බෝම්බයක් වගේ මිරිස් කුඩුත් පිරිවරාගෙන අභ්‍යවකාශ ගමනක යෙදෙන දර්ශනයක් සමග නැවතත් රාත්‍රිය උදා උනා ...
අන්දරේට ඊළඟට සිහිය එනකොට හිටියෙ ගෙදර පිළිකන්නේ ... කාණුවෙ ...
(දුක්බර සංගීතයක් සමග එපිසෝඩය නිම වේ)
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27