- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය
Image copyright Getty Images
සිය සැබෑ දෙමාපියන් සොයාගැනීම සඳහා සිය ජීව දත්ත ඇතුළත් "DNA බැංකුවක්" ස්ථාපිත කිරීමේ උත්සාහයක නියැළි සිටින 1980 දශකයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය දරුවන් පිරිසකට ඒ සඳහා ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්ත රජයේ සහාය හිමිව තිබේ.
විශේෂයෙන්ම ඔවුන් හදා වඩා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලබා දුන් ලියකියවිලි රැසක් ව්‍යාජ බැවින් සැබෑ දෙමාපියන් හඳුනාගැනීම අසීරු වී ඇති බව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඔවුහු පසුගිය සැප්තැම්බර් මාසයේ බීබීසි සිංහල සේවයට පැවසූහ.
"Sri Lanka Family Project" ලෙස නම් කර තිබෙන මෙම ව්‍යාපෘතියේ අරමුණ 80 දශකයේ ශ්‍රී ලංකාවෙන් ගෙන ගොස් සිටින දරුවන් 4,000කට පමණ සිය සැබෑ ශ්‍රී ලාංකික දෙමාපියන් මුණගැස්වීමය.
ව්‍යාපෘතියේ නිර්මාතෘවරයෙකු වන පීටර් රෝවාන් වැන් විලන් ඇතුළු පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ තම අදහසක් පරිදි ක්‍රියාත්මක වෙන මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ සහාය ලබාගැනීම සඳහාය.
ඒ පිළිබඳව නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපතිනිය සමග සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමග සිදු කළ සාකච්ඡා සාර්ථක බව ඔවුහු පවසති.
"අපි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලුවේ දරුවන් සොයන අම්මලාගේ ඩීඑන්ඒ ගන්න අපිට උදව් කරන්න කියලා. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළා," පීටර් වැන් වීලන් බීබීසී සිංහල සේවයට පැවසීය.
මේ වන විට නෙදර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකික දරුවන් 500ක් පමණ සිය DNA ලබාදීම සඳහා ලියාපදිංචි වී ඇති බව පැවසූ ඔහු, එබැවින් ඉදිරියේදී සිය ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථක වනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කළේය.
ශ්‍රී ලාංකික මවුවරුන් දැනුවත් කර, ඔවුන්ගේ DNA ලබාගැනීම සඳහා ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඔහු සැලසුම් කරයි.
ඒ පිළිබඳව බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මෙම දරුවන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම මගින් ඔවුන්ට මෙන්ම රටට විශාල ප්‍රතිලාභ අත්වනු ඇති බවට විශ්වාසය පළ කළේය.
"මම කතාකරපු ළමයි, ගොඩක් ඉහළ අධ්‍යාපනයක් ලබලා, හොඳ රැකියා කරන අය. සමහර වෙලාවට මෙහෙ හිටියනම් ඔවුන් රැකියාවක් ඉල්ලගෙන අපේ පස්සෙන් එන්න තිබුනා. ඕනෑම කෙනෙක්ට තමන්ගේ සැබෑ මවුපියන් මෙන්ම උපන් ස්ථානය අමතක කරන්න බැහැ. ඔවුන්ගේ දෙමාපියන් හොයාගන්න පුළුවන් වුනොත් ඔවුන් ලංකාවට ඇවිල්ල එන්න යයි, ලංකාවට උදව් කරයි," අමාත්‍යවරයා පැවසීය.
සිය ව්‍යාපෘතිය පිළිබඳව බීබීසි සිංහල සේවය සමග වැඩිදුරටත් අදහස් දැක්වූ පීටර් රෝවාන් වැන් විලන්: "අපිට කියන්න බැහැ කීදෙනෙක් හොයාගන්න පුළුවන්ද වෙයිද කියලා. නමුත් ලොකු විශ්වාසයක් තියෙනවා මේ දෙයින් අපේ ගොඩක් අයට අපේ දෙමව්පියන් හොයාගන්න පුළුවන් වෙයි කියලා," යනුවෙන් ද සඳහන් කළේය.
"මගේ ලියකියවිලි වල තියෙන්නේ මම වාද්දුව ප්‍රදේශයේ ඉපදුනු කෙනෙක් කියලා. ඒ ලියකියවිලිවල තියෙන තොරතුරු ගොඩක් බොරු. ඒ නිසා මට මගේ දෙමාපියන් හොයා ගන්න බැරිවුනා. මට විතරක් නෙවෙයි, නෙදර්ලන්තයේත්, යුරෝපයේ අනිකුත් රටවලත් මේ ගැටලුව නිසා ගොඩක් දෙනා පීඩා විඳිනවා," යනුවෙන් ඔහු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හේතු පැහැදිලි කළේය.
"අපිට අපේ එහේ දෙමාපියන් හොඳට සලකනවා. නමුත් හිතේ හැමතැනකම හැමදාම මේ පීඩාව තියෙනවා. අපේ සැබෑ දෙමාපියන් කවුද කියන එක. ශ්‍රී ලංකාවට අපි ගොඩක් සමීපයි කියල මෙහෙ අවාම දැනෙනවා."
ව්‍යාජ ලේඛන සමග විදේශිකයන්ට දුන් දරුවන් සොයන්න DNA බැංකුවක්
මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකාවෙන් හදා වඩා ගැනීමට දුන් සිය මිතුරන් කිහිප දෙනෙකු පලකළ පුවත්පත් දැන්වීමකට ප්‍රතිචාර දක්වමින් මෑණියන් 50 දෙනෙකු ඔවුන් සිටි හෝටලයට පැමිණි බව ඔහු සිහිපත් කළේය.
ශ්‍රී ලාංකික මව්පියන් ද සිය දරුවන් සොයා ගැනීමේ උත්සාහයක නියැලෙන බැවින් ඔවුන් දෙපාර්ශවය මුණගැස්වීම පිණිස තිබෙන එකම විකල්පය මෙම ඩීඑන්ඒ බැංකුව බව පීටර් වැන් විලන් ගේ අදහසය.
"අපි විශේෂයෙන්ම මේ DNA දත්ත වල ආරක්ෂාව, ඒ වගේම එහි නිරවද්‍යතාව 100%ක් තහවුරු කර ගත යුතු වෙනවා. ඒකට අපි නවීන තාක්ෂණය භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා," යනුවෙන් පීටර් සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඩෑෆනි තෝමස් සිය ව්‍යාපෘතිය ගැන කරුණු දැක්වීය.
1980 මුල භාගයේ දරුකමට හදා ගැනීම පිණිස ශ්‍රී ලංකාවෙන් ගෙන ගොස් තිබෙන ඇයටද තවමත් සිය දෙමව්පියන් සොයාගැනීමට හැකියාවක් ලැබී නැත.
"මේ දත්ත ගබඩාව හැදුවම ලෝකේ කොහේ හරි සිටින ශ්‍රී ලංකාවෙන් හදා වඩා ගන්න දුන්න කෙනෙක්ට, ශ්‍රී ලංකාවෙන් දරුවන් දුන්නු අම්මල එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔවුන්ගේ DNA ලේසියෙන් සසඳලා සිය සැබෑ අම්මව, පුතාව දුවව සොයන්න පුළුවන්."
මෙම ව්‍යාපෘතිය සඳහා DNA එකතුකිරීම ලබන වසර මුල සිට ආරම්භ කිරීමට නියමිතය.