- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
'මොනා ලීසා' නිරුවත් උඩු කයින්
Image copyright AFP/ALAMY
නිරුවත් කාන්තාවකගේ උඩුකය දැක්වෙන අඟුරු සිත්තමක් 'මොනා ලීසා' (Mona Lisa )ලෝක ප්‍රකට සිතුවමේ මූලික දළ සටහන ලෙස ප්‍රංශයේ කලා විද්වතුන් විසින් හඳුනා ගනු ලැබ ඇත.
එම අඟුරු සිත්තම මෙතෙක් නම් කරනු ලැබ තිබුණේ 'මොනා වන්නා' (Monna Vanna) යනුවෙනි.
පැරිස් අගනුවර උතුරු කලාපයේ පිහිටි කලාගාරයක 1862 වසරේ පටන් වසර 150 කට අධික කාලයක් තැන්පත් කරනු ලැබ තිබුණ එම සිත්තමෙහි 'මොනා ලීසා' සිතුවමේ දැක්වෙන කාන්තා රුවට සමාන ඉරියව්වෙන් රේඛාගත කරන ලද කාන්තා රුවක් දැක්වෙන අතර එහි වෙනස එය නිරුවත් කාන්තා උඩු කයක් වීම පමණි.
පුනරුද සාමයේ 'මොනා ලීසා' සිතුවම් කරන ලද්දේ ඉතාලි ජාතික ලියනාර්ඩෝ ඩා වින්සි (1452-1519) විසිනි.
නිරුවත් කාන්තා උඩුකය සහිත සිතුවම ඩා වින්සිගේ නිර්මාණයක් හැටියට කලින් පිළිගෙන තිබුණ අතර ,පැරිස් අගනුවර 'ලූව්රේ ' (Louvre) කෞතුකාගාරයේ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව එය කලාකරුවා 'මොනා ලීසා' සිතුවම තෙල් සායමින් නිම කිරීමට පෙර අඳින ලද එහි දළ සැකසුම ලෙස දැන් හඳුනා ගනු ලැබ ඇත.
Image copyright Twitter
Image caption සිතුවම් දෙක එකම සිතුවමකට සම්බන්ධ බව තීන්දු කරන ලද්දේ මෙවැනි පරීක්ෂණ වලින් අනතුරුවයි
ඩා වින්සි ගේ 'මොනා ලීසා' දැනට ලෝකයට ඉතිරිව ඇති මහා පිළිගැනීමක් මෙන්ම මූල්‍ය වටිනාකමක් සහිත ඓතිහාසික කලා නිර්මාණ අතලොස්ස අතර මුල් තැන හිමිකර ගනු ලබන ඉතාලි පුනරුද සමයේ බිහි වූ සිතුවමකි.
'මොනා ලීසා' නිර්මාණය වුණේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ නිලධාරියකු මෙන්ම රෙදිපිළි වෙළෙන්දකුව සිටි ෆ්රැන්සිස්කෝ ඩෙල් ගියෝකොන්දෝගේ ඇණවුමකින් ඔහුගේ බිරිඳ වූ ලීසා ගෙරාර්දිනීගේ උඩුකය සිතුවමට නැගීමේ උවමනාව නිසා යයි විශ්වාස කෙරෙයි.
'මොනා වන්නා' එම 'මොනා ලීසා'තෙල් සායම් සිතුවමේ මූලික දළ සැකසුම වන බව බොහෝ දුරට නියත කරුණකැයි ලූවර් කෞතුකාගාරයේ සංවිධායකවරයා AFP පුවත් සේවයට කියා සිටියේය.
සිතුවම් දෙකේ අත් සහ මුහුණු ඉරියව්වල සාම්යත්වයත් ඔහුගේ අගය කිරීමට ලක් වෙයි.
Image caption මොනා ලීසා නිමවීමට පෙර ඩා වින්සි මෙම දළ සිතුවම නිර්මාණය කරන ලදැයි හඳුනා ගනු ලැබ ඇත.
'මොනා වන්නා' සිතුවම ඩා වින්සිගේ කාලයට අයත් බව පරීක්ෂණ මගින් තහවුරුව ඇති බව 'ලූව්රේ ' (Louvre) කෞතුකාගාරයේ සංරක්ෂණ විශේෂඥයකු වන බෘනෝ මොටිං (Bruno Mottin) විසින් තහවුරු කරනු ලැබ ඇත.
මෙම සිතුවම් දෙක එකම ප්‍රමාණයකින් යුක්ත වන අතරම අත් සහ සිරුරේ ඉරියව් නිවුන් රූ දෙකක මෙන් අතිශයින් සමාන වෙයි.
Image caption මොනා ලීසා නැරඹීමට දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් වාර්ෂිකව පැරිස් නගරයට ලඟා වෙති
මේ පුවත යවන්න මිතුරන්ට යැවීම පිළිබඳ